20-20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට – වනිඳුගෙන් කඩුලු 100ක්

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත 20-20 තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා පිල අද සමත්වුණා.

ඒ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවති 2වැනි 20-20 තරගය ලකුණු 72කින් ජය ගනිමින්.

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තාන නායකයා දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 187ක්.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 22කදී නොදැවි ලකුණු 42ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් සමගින්.

මැතිව්ස්ට අනගි සහයක් ලබාදුන් සධීර සමරවික්‍රම ලකුණු 51ක් රැස් කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 187ක් රැස් කිරීමට සමත්වුණා.

ලකුණු 188ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන පිලේ මුල් කඩුලු 6 ලකුණු 70ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා.

පන්දුයැවීමේදී ඇන්ජලෝ මැතිව්ස්, බිනුර ප්‍රනාන්දු, නායක වනිඳු හසරංග සහ මහීෂ් තික්ෂණ කඩුලු දෙක බැගින් දවා ගත්තා.

වනිඳු 20-20 කඩුලු සියයේ සීමාව මෙහිදී පසු කළ අතර ඔහු වාර්තා අතරට එක්වුණේ එවැනි දස්කමක් දැක් වූ දෙවන ශ්‍රී ලාංකික පන්දු ය වන්නා ලෙසයි.

අඩුම් ඉනිම් සංඛ්‍යාවකින් 20-20 කඩුලු 100 සීමාව පසු කළ ලොව දෙවන පන්දු යවන්නා ලෙසද වනිඳු මෙහිදී වාර්තා අතරට එක්වුණා.

වනිඳු 20-20 කඩුලු 100 සීමාව පසු කිරීමට වැය කළේ තරග 63ක් පමණයි.

ඒ අනුව ඇෆ්ගනිස්තාන ඉනිම පන්දුවාර 17ක් අවසානයේ ලකුණු 115කට සීමා කිරීමට සමත් වු ශ්‍රී ලංකාව තරගය ලකුණු 72කින් ජය ගත්තා.

මෙම ජයත් සමග තරග 3කින් සමන්විත මෙම තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *