වසර 24ක් පැරණි සනත් ජයසූරියගේ වාර්තාවක බිඳදමමින් නව වාර්තාවක් පිහිටුවිමට පැතුම් නිස්සංක අද සමත්වුණා.
මේ තරගයේදී සුපිරි පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එක්දින තරගයකදී ලකුණු 200 ඉක්මවූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වීමට සමත්වුණා.
එමෙන්ම, වසර 24කට පෙර එක්දින තරගයකදී ලාංකික ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කී සනත් ජයසූරියගේ වාර්තාව බිඳහෙලීමද විශේෂත්වයක්.
තරගයේ කාසියේ වාසිය දුනූ ඇෆ්ගනිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් යුගලය, පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු වේගවත් ආරම්භයක් ලබා ගනිමින් පළමු කඩුල්ලට ලකුණු 182ක සබඳතාවක් ගොඩනැගුවා.
යළි ලකුණු අතරට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 88යි.
2000 වසරේදී ලකුණු 189ක් රැස් කරමින් සනත් ජයසූරිය තබා තිබූ වාර්තාව පැතුම් නිශ්ශංක බිඳහෙලනු ලැබුවේ වේගවත් පිතිහරඹයක නිරතවෙමින්.
එතැනින් නොනැවතුණු ඔහු ඇෆ්ගනිස්තාන පන්දු යවන්න්ට දිග හරහට පහරදෙමින් ලකුණු දෙසියයගේ සීමාව ඉක්මවා ගියේ ද්විත්ව ශතයක් ලබාගත් පළමු ශ්‍රී ලංකික ක්‍රීඩකයා බවට පත්වෙමින්.
ඇෆ්ගනිස්ථාන පන්දු රකින්නන් ප්‍රෙක්ෂකයන් බවට පත්කරමින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 139කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 210ක්.
ඔහුගේ ඉනිමට හයේ පහර 8ක් සහ හතරේ පහර 20ක් ඇතුළත්.
සදීර සමරවික්‍රම ලකුණු 44ක් රැස් කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 3ක් දැවී ලකුණු 381ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.
