පන්දුවාර 20-20 පුහුණු තරග 7කට සහභාගි වීම සඳහා උගන්ඩා කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා.
මෙවර පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටින උගන්ඩා පිල මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිටින සංවර්ධන කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් සමග පුහුණු තරග සඳහා එක්වීමට නියමිතයි.
පුහුණු තරග සියල්ල හෙට සිට 23 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
මෙහිදී විනිසුරුවන්, ලකුණු සටහන්කරුවන්, ආහාර, වෛද්‍ය සහාය ඇතුළු පුහුණු තරගවලට අවශ්‍ය සියලු පහයසුකම් සපයනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් උගන්ඩා ජාතික කණ්ඩායමට දින 14 ක පුහුණු කඳවුරක් සඳහා පහසුකම් සපයනු ලබන අතර, එය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුව, අන්තර්ජාතික ක්‍රීඩාංගණයක් (GICS, ගාල්ල) වෙන් කිරීම, විස්සයි20 තරග හතක් ක්‍රීඩා කිරීම සඳහා ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථාන සංවර්ධන සංචිතවලින් කණ්ඩායමක් වෙන්කිරීම සහ විනිසුරුවන්, ලකුණු සටහන් කරන්නන්, ආහාර, වෛද්‍ය සහාය සහ පිටියේ වෙනත් අදාළ ආධාර වැනි තරගවලට අදාළ සැපයුම් ලබාදීම මෙම පහසුකමට ඇතුළත්.
උගන්ඩා ජාතික කණ්ඩායමේ අභ්‍යන්තර ප්‍රවාහනය ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සපයනු ලබනවා.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සහකාර සාමාජිකයෙකු වන උගන්ඩාව සඳහා මෙම පහසුකම ලැබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පැවසුවේ.
පසුගිය ජනවාරි 3 වැනිදා සිට උගන්ඩාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ මූලාසන නිලධාරීන්ගේ 27 වැනි සමුළුවට සහභාගි වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් උගන්ඩා ක්‍රිකට් සංගමය කළ ඉල්ලීමකට අනුව උගන්ඩා ජාතික කණ්ඩායමට මෙම පහසුකම් සැලසා තීබෙනවා.

