සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
ඒ අනුව ටෙස්ට් ක්‍රීඩාකරන සෑම රටකටම එරෙහිව ටෙස්ට් ජයග්‍රහණ ලැබූ ලොව පළමු කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේ පැවති මෙම ඓතිහාසික ටෙස්ට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන පිල සිය පළමු ඉනිම සඳහා රැස්කර ගත්තේ ලකුණු 198ක් පමණයි.
ශ්‍රී ලංකා පිල සිය පළමු ඉනිම සඳහා ලකුණු 439ක් රැස් කළ අතර එහිදී ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ශතක වාර්තා කිරීමට සමත් වුණා.
ලකුණු 241ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹු ඇෆ්ගනිස්තාන පිල තරගයේ සිව්වන දිනය වූ අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 199ක් ලබා සිටියා.
ඇෆ්ගනිස්තානය එක් අවස්ථාවක එක් කඩුල්ලක් දැවී ලකුණු 214ක රැස්කරගෙන ප්‍රභල ස්ථානයක පසුවුවත් ලකුණු 114ක් රැස්කරගෙන සිටි ඊබ්‍රාහිම් සද්‍රාන් ඇතුළු පිතිකරුවන් 9 දෙනෙක්ව ලකුණු 82ක් තුළ දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඇෆ්ගනිස්ථාන දෙවන ඉනිම ලකුණු 296කට සීමා කළා.
පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් දවාගත් අතර අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් සහ කසුන් රාජිත කඩුලු දෙකක් දවාගත්තා.
සමස්ත තරගයේදි ප්‍රභාත් ජයසූරිය කඩුලු 8ක් දවා ගැනීමට සමත්වූ අතර ඒ අනුව ඔහු වාර්තා අතරට එක් වුණේ ටෙස්ට් දිවියේ පළමු තරග 10දී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් දඟපන්දු යවන්නා ලෙසයි.
ප්‍රභාත් ජයසූරිය මේ දක්වා ටෙස්ට් තරග 10කට ක්‍රීඩා කරමින් කඩුලු 67ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 56ක්.
කිසිවෙකු නොදැවී එම ඉලක්කය පසුකරගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ජය හිමිකර ගත්තා.
ඒ අනුව ටෙස්ට් ක්‍රීඩාකරන රටවල් 11ටම එරෙහිව ටෙස්ට් ජයග්‍රහණ ලැබූ ලොව පළමු කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකාව සමත්වුණා.


