ප්‍රගති සමාලෝචන රැස්වීම් මඟ හැරීම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇති මලල ක්‍රීඩා සුපිරි සංචිතය හෙට (11 වැනිදා ) දිනයේදී යළි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය වෙත කැඳවා ඇති බවත් ඒ සඳහා ද ඔවුන් සහභාගි නොවුවහොත් වහාම ක්‍රියාත්මක වන පරිදි එම සංචිතය විසුරුවා හැරීමට කටයුතු කරන බවත් මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර මහතා පවසනවා.
ඒ අනුව හෙට ප.ව.2.00 ට එම සංචිතයේ හමුවක් පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවත් මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා සඳහන් කළා.
ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මලල ක්‍රීඩා සුපිරි සංචිතය පසුගිය 02 වැනිදා සහ දෙසැම්බර් 26 වැනිදා කැඳවූවද ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය අවම වීම මත මේවන විටත් එම සංචිතය තාවකාලිකව අත්හිටුවා තිබෙන වාතාවරණයක මෙම හමුව කැඳවා තිබෙනවා.
ඊට පෙර පැවති ප්‍රගති සමාලෝචන රැස්වීම් සඳහා පිළිවෙළින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වී තිබුණේ 08 දෙනෙක් සහ 4 දෙනෙක් පමණි. ඔවුන් මෙසේ කැඳවීම් මගහැරීම මත වහාම ක්‍රියාත්මක වන පරිදි එම සංචිතය අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ක්‍රීඩා අමාත්‍යාංශයට පසුගිය 02 වැනිදා දැනුම්දී තිබුණා.
“හෙට දිනයේත් ඔවුන් ආවේ නැති වුණොත් අපි සම්පූර්ණයෙන්ම සංචිතය විසිරුවා දමනවා. ඒ හැම දෙනාටම හෙට එන්න කියලා අපි දැනටමත් ලිඛිතව දැනුම් දී අවසන්. අපි බලමු ඒ අය හෙට මොකද කරන්නේ කියලා.”
මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර මහතා එසේ අදහස් දැක්වූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනෙකුගෙන් එම සංචිතය සමන්විත වනවා.
ඔවුන්ට දිනකට රුපියල් 1500ක පෝෂණ දීමනාවක් පසුගිය කාලය පුරා ලබාදී ඇති අතර එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් හැත්තෑපන් දහසේ සිට ලක්ෂය දක්වා මුදලක් ගෙවන බවත් වාර්තා වනවා.
තරුෂි කරුණාරත්න, ගයන්තිකා අබේරත්න, දිල්හානි ලේකම්ගේ, ජේ.එච්. උත්තරා, හර්ෂණී ප්‍රනාන්දු, සයුරි මෙන්ඩිස්, නදීෂා රාමනායක යන ක්‍රීඩිකාවෝ සහ කාලිංග කුමාරගේ, පබසර නිකූ, රාජිත රාජකරුණා, අනුර දර්ශන,පසිදු කොඩිකාර, දිනූක දේශාන් ධනංජය යන ක්‍රීඩකයෝ මෙම සංචිතය නියෝජනය කරනවා.
