රොෂාන්ගේ ජනපති සිහිනය නිසා ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 10ක් අහිමි වෙයි

ජනවාරි මසදී ආරම්භ වන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු සියල්ල සැළසුම් කර තිබියදී දේශපාලනඥයකුගේ මැදිහත්වීමෙන් එය වැළකී ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා පවසනවා.

ඔහුු මේ බව පැවසුවේ පාසල් 22කට සහ දිස්ත්‍රික්ක හතරකට රුපියල් මිලියන 1.3 බැගින් වටිනා පන්දු යැවීමේ උපකරණ (Bowling Machine) 26ක් බෙදා දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී එක්වෙමින්.

ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා මෙහිදී උත්සව සභාව අමතමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් පුහුණුකරුවනට සේවය සඳහා මුදල් ලබාදීමටත් පාසල් ක්‍රිකට් ක්‍රීඩාංගණයන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමටත් විධායක කමිටුව නොබෝදා තීරණය කළ බව ප්‍රකාශ කළා.

පාසල් මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අප ආයතනය ගම්මට්ටමෙන් පියවර ගෙන නොමැති බව ඇතැමුන් බොරු චෝදනා නගන බව කී ෂම්මි සිල්වා මහතා පාසල් විශාල සංඛ්‍යාවකට ක්‍රිකට් උපකරණ ගැනීමටත් ක්‍රීඩාංගණ පහසුකම් ලබා ගැනීමටත් ආයතනය මේ වන විටත් පියවර රැසක්ම ගෙන ඇතැයි ද තවත් පාසල්වලට පහසුකම් අවශ්‍ය නම් ඒ සඳහා සාකච්ඡා කිරීමටත් උපකරණ ආදිය නොමිලේ ලබාදීමටත් සූදානම් බව ද ප්‍රකාශ කළා.

මීළඟ අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු සියල්ල සැළසුම් කර තිබියදී දේශපාලනඥයකුගේ මැදිහත්වීමෙන් එය වැළකී ගිය බවත් එම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත් වුවා නම් රුපියල් බිලියන 10ක ආදායමක් මෙරටට ලැබීමට නියමිතව තිබු අතර රටට එය නොලැබීයාමේ වගකීම එම දේශපාලනඥයා භාරගත යුතුව ඇතැයි ද පැවසුවා.

බාලිකා ක්‍රිකට් ක්‍රීඩාව ද මේ වන විට ඉමහත් ජනප්‍රිය තත්ත්වයකට පත්ව ඇතැයි කී ක්‍රිකට් සභාපතිවරයා රත්ගම දේවපතිරාජ වැනි පාසල් මේ වන විට ඉහළම මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන බව ද පැවසුවා.

පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා අදහස් දක්වමින් තම සංගමයට 2018 වසරේ සිට මේ දක්වා ක්‍රිකට් ආයතනයෙන් අනුග්‍රහයෙන් පන්දු යැවීමේ උපකරණ 40ක් (2018දී 18 2024දී 22යි) නොමිලේ සැපයීමටත් වෙනත් පහසුකම් රැසක්ම ලබාදීමටත් අවස්ථාව උදා වු බව කියා සිටියා.

2020 -21 වසරේ ව්‍යාපෘති ඉටු කිරීමට නොහැකි අවස්ථාවකදී පාසල් ක්‍රිකට් සංගමය අවුුරුදු 13න් පහළ තරගාවලිය හැර අන් සියලු වයස් සීමා තරගාවලි පැවැත් වූ බව කී පාසල් ක්‍රිකට් සභාපතිවරයා බාලක පාසල් 800 සිට 875 දක්වාත් බාලිකා පාසල් 28 සිට 90 දක්වාත් මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවට යොමුව ඇතැයි ද ඔවුන් සියල්ලටම තම සංගමය පහසුකම් සපයන බව පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *