පාසල් 22කට සහ දිස්ත්‍රික්ක හතරකට රුපියල් මිලියන 1.3 බැගින් වටිනා පන්දු යැවීමේ උපකරණ (Bowling Machine) 26ක් බෙදා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ඊයේ සිදු කෙරුණා.
රුපියල් මිලියන 33.8ක වටිනාකමකින් යුත් මේ පන්දු යැවීමේ උපකරණ බාලක පාසල් 21කටත් බාලිකා පාසලකටත් (ගම්පහ රත්නාවලී) මාතර, රත්නපුර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලටත් බෙදා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුවේත් පාසල් විදුහල්පති, විදුහල්පතිනියන්ගේ සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් මුලස්ථානයේදී සහ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ මෙහෙයවීමෙන් වසර පහකට වරක් සිදු කරන මෙම පන්දු යැවීමේ යන්ත්‍ර බෙදා දීම 2018 වසරේදී යන්ත්‍ර 18ක් බෙදා දීමෙන් මුලින්ම සිදු කළා.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා ඇතුළු නිලධාරී මණ්ඩලයේ ඉල්ලීම පරිදි මේ උපකරණ ක්‍රිකට් ආයතනය මඟින් අදාළ පාසල්වලට සහ දිස්ත්‍රික්කවලට නොමිලේ සපයනු ලබනවා.
ක්‍රිකට් උපකරණ බෙදා දීම ක්‍රිකට් ආයතනයේ සභාපති ෂමිමි සිල්වා, උපසභාපති ජයන්ත ධර්මදාස, ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් අතින් සිදු කෙරුණා.
පන්දු යැවීමේ උපකරණ මෙවර (2024) හිමි වූ පාසල් වුයේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ රාජකීය, ඩී.එස්.සේනානායක, ලුම්බිණි, මොරටු විදුහල සහ පන්නිපිටිය ධර්මපාලත් ගම්පහ දිස්ත්‍රික්කයේ කඳාන ද මැසිනඩ්, වත්තල සාන්ත අන්තෝනි, කැලණිය ගුරුකුල, වෙන්නප්පුව ජෝශප් වාස් සහ කටුනේරිය ශාන්ත සෙබස්තියන්, ගම්පහ රත්නාවලී බාලිකා, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මලියදේව, සාන්ත ආනා, මහනුවර දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි, ධර්මරාජ, ශාන්ත සිල්වෙස්තර, මාතර සාන්ත තෝමස්, රත්ගම දේව පතිරාජ, අම්බලන්ගොඩ ධර්මාශෝක, ගාල්ල සාන්ත ඇලෝසියස් සහ කළුතර හෝලික්‍රොස් (සිරිකුරුස) ය.

මීට අමතරව මාතර, රත්නපුර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක සංගම්වලට දිසා මට්ටමෙන් මේ උපකරණ ලබා දුන්නා.
ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා මෙහිදී උත්සව සභාව අමතමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් පුහුණුකරුවනට සේවය සඳහා මුදල් ලබාදීමටත් පාසල් ක්‍රිකට් ක්‍රීඩාංගණයන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමටත් විධායක කමිටුව නොබෝදා තීරණය කළ බව ප්‍රකාශ කළා.

