සංචාරක සිම්බාබවේ කණ්ඩයම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වෙනවා.
මේ අතර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඩෙංගු වැළඳීමෙන් සිම්බාබ්වේ තරගාවලිය අහිමි වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2024 තරග වාරය ආරම්භ කරමින් පළමු තරගාවලිය සඳහා හෙට සිම්බාබ්වේ කණ්ඩායම සමගින් තරග වදිනවා.
හෙට ආරම්භ වන්නේ තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලියයි.
ඒ වෙනුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සිය පුහුණුවීම් වලට එක්වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඊයේ පැවති පුහුණු සැසියට නව පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි සහ නව පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන ද එක්ව සිටියා.
ඊට අමතරව තේරීම් කමිටු සාමාජිකයන් සහ ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන සනත් ජයසූරියද ඊයේ පැවති පුහුණු සැසිය නිරීක්ෂණයට සඳහා එක්වුණා.
ආබාධයකට ලක්ව සිටි විස්සයි විස්ස නායක වනිඳු හසරංගද ඊයේ පැවති පුහුණු සැසියට එක්ව සිටියා.
හෙට තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන්නේ නව ශ්‍රී ලංකා නිත්‍ය එක්දින නායක කුසල් මෙන්ඩිස්ගේ නායකත්වය යටතේයි.
ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් පැතුම් නිස්සංකට සිම්බාබ්වේ සමග පැවැත්වෙන එක්දින සහ 20-20 තරගාවලිය අහිමි වී තිබෙනවා.
ඔහු මේ වන විට ප්‍රතිකාර ලබන්නේ, කොළඹ පෞද්ගලික රෝහලකයි.
පැතුම් වෙනුවට ෂෙවෝන් ඩැනියෙල් ශ්‍රී ලංකා සංචිතය ආදේශ කිරීමට නියමිත බව වාර්තා වනවා.
මේ අතර එක්දින තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන කුසලානය සමග දෙපිලේ නායකයින් අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඡායාරූපයකට පෙනී සිටියා.
