ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පැන වූ තරග තහනම ඉවත් කිරීමට එස්.එස්.සී ක්‍රීඩා සමාජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහුට දේශීය තරග ක්‍රීඩා කිරීමට මේ වන අවස්ථාව උදා වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ධනුෂ්ක ගුණතිලක කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට ලක් වූ අතර පසුව එරට අධිකරණය විසින් ඔහුව නිදොස් කොට නිදහස් කළා.
අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද ධනුෂ්ක ගුණතිලකට පනවා තිබු ක්‍රිකට් තහනම ඉවත් කිරීමට පියවර ගත් අතර ධනුෂ්ක ගුණතිලක නියෝජනය කරන එස්.එස්.සී ක්‍රීඩා සමාජය ඔහු පැන වූ තරග තහනම ඉවත් කිරීමට කටයුතු කර තිබුණේ නැහැ.
කෙසේ වෙතත් එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ විනය කමිටුව මගින් සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව ධනුෂ්ක ගුණතිලකට පැන වූ තරග තහනම ඉවත් කිරීමට තීරණය කළ බවයි
එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපති සමන්ත දොඩන්වෙල මහතා පැවසුවේ.
ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට SSC ය නියෝජනය කරමින් දේශීය තරග ක්‍රීඩා කිරීමට අවසර හිමි වී ඇති අතර ඔහු හෙට සිට මේ වනවිට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියට සිය ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට නියමිතයි.
එම තරගාවලියේ දක්වන දස්කම් මත ධනුෂ්කට සිම්බාබ්වේ සමග පැවැත්වෙන එක්දින සහ 20-20 තරගාවලියට එක්වීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
