ඉතිහාසයේ පළමු වරට ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක එක්සත් අරාබි එමීර් යොවුන් කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ පළමු අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන යොවුන් පිල පරාජය කරමින්.
මෙවර ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණේ මූලික වටයේ අපරාජිත කණ්ඩායම බවට පත් වූ පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යොවුන් කණ්ඩායම අතරයි.
ඩුබායි හි අයි සී සී ඇකඩමි ක්‍රීඩාංණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් යොවුන් කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 5කදි සියලුදෙනා දැවී ලකුණු 193ක් රැස් කළා.
ආර්යන්ස් ෂර්මා ලකුණු 46ක් සහ නායක අෆ්සාල් ඛාන් ලකුණු 55ක් රැස් කිරීමට සමත්වුණා.
උබායිඩ් ෂා කඩුලු 4යි.
ලකුණු 194ක ජයග්‍රාහී ඉලක්කක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තාන යොවුන් පිලේ මුල් කඩුලු 7 ලකුණු 121ක් තුළ දවා ගැනීමට එක්සත් අරාබි එමීර් යොවුන් පන්දු යවන්නන් සමත්වුණා.
අවසන් පන්දුවාරයේදි ජයග්‍රහණය සඳහා පාකිස්තාන යොවුන් පිලට ලකුණු 12ක් අවශ්‍යව තිබූ අතර ඔවුන්ට අතැතිව තිබුණේ කඩුලු 2ක් පමණයි.
අවසන් පන්දුවාරයේදී එම කඩුලු දෙකම දවා ගනිමින් එක්සත් අරාබි එමීර් යොවුන් පිල ඓතිහාසික ජයක් ලබමින් පළමු වරට ආසියානු යොවුන් තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත්තා.
ඔවුන් මූලික වටයේදී ශ්‍රී ලංකා යොවුන් පිලද පරාජයට පත් කිරීම සමත්වීම විශේෂත්වයක්.

