ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක නොකරන නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද අභියාචනධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සම කැදවූ මෙම දැනුම්දීම සිදුකළා.
ඒ අනුව අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද දැනුම් දීම සඳහා ලබන 15 දා කැඳවන ලෙසත් නියෝග කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කරගෙන තිබෙන බව නව ක්‍රීඩා අමාත්‍යය හරින් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත්කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා මෙම දැනුම්දීම සිදුකළා.
ඒ අනුව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක නොකරන බවටත් අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අතුරු පාලක කමිටුව විසුරුවා හැර ඇති බවත් නව ක්‍රීඩා අමාත්‍යවරයා නව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කොට ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා දන්වා සිටියා.
මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදි පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකාර නව ක්‍රීඩා අමාත්‍යවරයා අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක නොකරන බව දැනුම් දුන්නද එම ගැසට් නිවේදනය තවදුරටත් එලෙසම පවතින බව පෙන්වා දුන්නා.
එබැවින් අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් යම් පාර්ශවයකට ඉදිරියේදී පියවර ගැනීමේ හැකියාවක් පවතින බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා ගැනීමට තමන්ට අවශ්‍ය බවත් පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද? නැද්ද ? යන්න දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා.
ඒ අනුව අදාල පෙත්සම මේ මස 15 වන දා යළි කැඳවීමට නියෝග කළ අභියාධිකරණ විනිසුරු මඩුල්ල එදින අදාල පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේද? නැද්ද? යන්න දැනුම් දෙන ලෙසත් නියෝග කළා.
