2023 අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.
චාමික කරුණාරත්න සහ නිරෝෂන් දික්වැල්ලද මෙහිදී නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියෝජනය කළා.
2023 අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අබුඩාබි හිදි ඊයෙ පැවැත්වුණේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් සහ නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතරයි.
අවසන් මහා තරගයේදී චාමික කරුණාරත්න සහ නිරෝෂන් දික්වැල්ල නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියෝජනය කළ අතර නුවන් තුෂාර ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10දී කඩුලු 5ක් දැවී ලකුණු 91ක් රැස් කිරීමට සමත්වුණා.
අන්ද්‍රෙ රසල් ලකුණු 30ක් රැස් කළ අතර ඩේවිඩ් වයිස් ලකුණු 20යි.
පන්දුයැවීමේදී සුනිල් නරෙයින් ලකුණු 6කට කඩුලු දෙකක් දවා ගත්තා.
ලකුණු 92ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ මුල් කඩුලු දෙක ලකුණු 7ක් තුළ දවා ගැනීමට ඩෙකෑන් පන්දු යවන්නන් සමත්වුණා.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 14යි.
අසීෆ් අලි සහ නායක කිරන් පොලාර්ඩ් ලකුණු වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.
අසීෆ් අලි පන්දු 25කදී ලකුණු 48ක් රැස් කළ අතර නායක කිරන් පොලාර්ඩ් පන්දු 13කදි ලකුණු 22ක් රැස් කළා.
ඒ අනුව පන්දුවාර 9යි පන්දු 2ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළ නිව්යොර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පළමු වරට අබුඩාබි ටී ටෙන් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත්වුණා.

