එළැඹෙන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන සිම්බාබ්වේ ක්‍රිකට් පිල සමඟ පැවැත්වෙන සියලු තරග කොළඹින් පිටත ක්‍රීඩාංගණ දෙකකදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
එම සිම්බාබ්වේ පිලේ ක්‍රිකට් සංචාරය එක්දින සහ විස්සයි20 තරගාවලි දෙකක් ලෙස සංවිධාන කොට ඇති අතර, එක්දින තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හා විස්සයි20 තරගාවලිය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර විස්සයි20 තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ජනවාරි මස 6 වැනිදා සිට 11 වැනිදා දක්වා හා තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලිය ජනවාරි 14 වැනිදා සිට 18 දක්වා පැවැත්වීමට විධිවිධාන යොදා තිබෙනවා.
මේ සියලු තරග දිවා – රාත්‍රී තරග ලෙස පැවැත්වේ. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අළුතින් සවිකරන ලද විදුලි ආලෝක ධාරා පද්ධතිය යටතේ ශ්‍රී ලංකා – සිම්බාබ්වේ විස්සයි20 තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර අවසන් වරට 2022දී ශ්‍රී ලංකාවේ පැවති එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකා පිල තරග 2-1ක් ලෙස ජය වාර්තා කළේය. එම එක්දින තරග 3ම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
2017 වසරේ පැවති එක්දින තරගාවලිය හම්බන්තොටදී පැවති අතර, 1998දී පැවති එක්දින තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස හා එස්.එස්.සී. ක්‍රීඩාංගණවලදී පවත්වා තිබෙනවා.
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග කාලසටහන
ජනවාරි 6 – පළමු එක්දින තරගය
ජනවාරි 8 – දෙවැනි එක්දින තරගය
ජනවාරි 11 – තෙවැනි එක්දින තරගය
ජනවාරි 14 – පළමු විස්සයි 20 තරගය
ජනවාරි 16 – දෙවැනි විස්සයි 20 තරගය
ජනවාරි 18 – තෙවැනි විස්සයි 20 තරගය
