චමරිගේ නමට සිඩ්නි ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයක්

මෙවර බිග්බෑෂ් කාන්තා විස්සයි20 තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් පිල නියෝජනය කරමින් කැපී පෙනෙන දස්කම් දක්වමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුට උපහාර පිණිස සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයක් ‘Chamari Bay’ ලෙස නම් කිරීමට සිඩ්නි තන්ඩර්ස් තීරණය කර තිබෙනවා.

ලබන 26 වැනිදා එම ක්‍රීඩාංගණයේදී සිඩ්නි සික්සර්ස් පිලට එරෙහිව පැවැත්වෙන තරගයේදී එය සිදු කිරීමට නියමිතයි.

සිඩ්නි තන්ඩර්ස් පිලේ ආරම්භක පිතිකාරිනිය වන ඇය මේ දක්වා තරග 9කදී අර්ධ ශතක 4ක් සමඟ ලකුණු 374ක් රැස් කිරිමට සමත් වූ අතර, සිඩ්නි තන්ඩර්ස් පිලේ වැඩිම ලකුණු ලාභිනිය ද වනවා.

මෙවර කාන්තා බිග්බෑෂ් පිටියේ වැඩිම ලකුණු ලාභිනියන් අතර සිව්වැනි තැනට පත්වී සිටී.

ඇගේ දස්කම් මතින් ජයග්‍රහණ 6ක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි තැන අත්කර ගැනීමට ද සිඩ්නි තන්ඩර්ස් පිල සමත් වුණා.

ජාත්‍යන්තර ‘ෆ්‍රැන්චයිස්’ ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ පළමු හා එකම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාව වන චමරි බිග්බෑෂ් කාන්තා තරගාවලියට සහභාගි වන තුන්වැනි අවස්ථාව මෙයයි.

ඇය එංගලන්ත කාන්තා ප්‍රිමියර් ලීග් සහ කොදෙව් කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය ද නියෝජනය කර තිබෙනවා.

වසර 2009 සිට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන චමරි අතපත්තු මේ දක්වා ජාත්‍යන්තර එක්දින තරග 98කදී ශතක 8ක් සහ අර්ධ ශතක 15ක් සමඟ මුළු ලකුණු 3255ක් රැස් කිරීමට සමත් වූ අතර, විස්සයි20 ජාත්‍යන්තර තරග 122කදී ශතකයක් සහ අර්ධ ශතක 8ක් සමඟ රැස් කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 2651ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *