වසර 6කට පසු එංගලන්ත කණ්ඩායමට එරෙහිව එංගලන්තයේදී එක්දින තරගයක් ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ එංගලන්තය සමග පැවති දෙවන එක්දින තරගය ලකුණු 16කින් ජයගනිමින්.
ශ්රී ලංකා – එංගලන්ත දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා නායක කුසල් මෙන්ඩිස් ප්රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ශ්රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලේ සබඳතාව ලකුණු 45කට සීමා වුණේ පැතුම් නිස්සංක ලකුණු 25කට දැවී යාමත් සමගයි.
අනතුරුව පිටියට එක්වූ කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් 2 වැනි කඩුල්ලට ලකුණු 137ක අගනා සබඳතාවක් ගොඩනැගුවා.
ශ්රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් මෙලෙස එංගලන්තයේදී ශතක සබඳතාවක් ගොඩනැගුවේ 2014 වසරෙන් පසුවයි.
කමිඳු මෙන්ඩිස් ලකුණු 54ක් රැස් කළා.
නායකත්වයේ ඉනිමක් ක්රීඩාකළ කුසල් මෙන්ඩිස් සිය එක්දින දිවියේ 7 වැනි ශතකය වාර්තා කළා.
නැට් –
කුසල් මෙන්ඩිස් ලකුණු 121ක් රැස් කළ අතර මැද පෙළ ශක්තිමත් කළ පවන් රත්නායක ලකුණු 48ක් සහ ජනිත් ලියනගේ ලකුණු 32ක් රැස්කිරීමට සමත්වුණා.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 6ක් දැවී ලකුණු 321ක් රැස් කරමින්.
ලකුණු 322ක ජයග්රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි එංගලන්ත ඉනිම අරඹමින් පිටියට පිවිසි බෙන් ඩකට් සහ ටොම් බැන්ටන් එක්ව ලකුණු 143ක සබඳතාවක් ගොඩ නගමින් එංගලන්තයට ශක්තිමත් ආරම්භයක් ලබාදුන්නා.
ටොම් බැන්ටන් ලකුණු 73ක් රැස්කළ අතර බෙන් ඩකට් ලකුණු 67යි.
එංගලන්තය පන්දුවාර 20 අවසන් වනවිට කිසිවෙක් නොදැවි ලකුණු 143ක් රැස්කර ගනිමින් ප්රභල ස්ථානයක පසුවූ අවස්ථාවේ ක්රියාත්මක වූ දුනිත් වෙල්ලාලගේ එංගලන්ත කඩුලු තුනක් දවාගනිමින් ශ්රී ලංකාව නැවතත් තරගයට අවතීර්ණ කරවීමට සමත් වුණා.
අනතුරුව ශ්රී ලංකා පන්දු යවන්නන් එංගලන්ත පිතිකරුවන් මනාව පාලනය කළත් අවසන් පන්දුවාර දෙකේදී එංගලන්තයට ජයග්රහණය සඳහා කඩුලු 3ක් අතැතිව අවශ්යව තිබුණේ ලකුණු 20ක් පමණයි.
එංගලන්ත ඉනිමේ 49 වැනි පන්දුවාරය යැවූ එෂාන් මාලිංග එම පන්දුවාරයේදී එක් කඩුල්ලක් දවාගනිමින් එක් ලකුණක් පමණක් ලබාදෙමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණා.
ඒ අනුව එංගලන්තයට ජයග්රහණය සඳහා අවසන් පන්දුවාරයට ලකුණු 19ක් අවශ්යව තිබුණත් ඔවුන්ට රැස්කරගත හැකිවූයේ ලකුණු 2ක් පමණයි.
ඒ අනුව එංගලන්ත ලකුණු පුවරුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 305ක් ලෙස සටහන් වුණා.
ඒ අනුව දෙවන එක්දින තරගයෙන් ශ්රී ලංකාව ලකුණු 16ක ජයක් හිමිකර ගත්තා.
තරගයේ විරයා කුසල් මෙන්ඩිස්.
ඒ සමඟ ශ්රී ලංකාව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1 ට 1ක් ලෙස සම තත්වයට පත්කර ගැනීමට සමත්ව සිටිනවා.
දෙරට අතර තීරණාත්මක අවසන් තරගය ඉරිදා පැවැත්වීමට නියමිතයි.
