ශ්‍රී ලංකාව තවත් අන්ත පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරගය ලකුණු 89කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1 ට0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්ව සිටිනවා.

ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා – එංගලන්ත 20යි 20 තරගාවලියට සහභාගි නොවූ ශ්‍රී ලංකා නිත්‍ය සීමිත පන්දුවාර නායක කුසල් මෙන්ඩිස් එක්දින තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වුණා.

එංගලන්තයේ චෙස්ටර්ලී ස්ට්‍රීට් හි පැවැති පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක හැරී බෘෘක් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඊයේ තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකර ගැනීමට සචිඳු කොළඹගේ සමත්වූ අතර වනිඳු හසරංගට සහ මහීෂ් තීක්ෂණට ඊයේ තරගයේ ස්ථානයක් හිමිවූයේ නැහැ.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 48යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 265ක් රැස්කළා.

එංගලන්තය වෙනුවෙන් නායක හැරී බෘෘක් ලකුණු 67ක් රැස්කර ගත් අතර විල් ජැක්ස් නොදැවී ලකුණු 46යි.

සිය මංගල එක්දින තරගයට ක්‍රීඩකළ සචිඳු කොළඹගේ ලකුණු 44කට කඩුලු 3ක් දවාගනිද්දී අසිත ප්‍රනාන්දු ලකුණු 53කට කඩුලු 3ක් දවාගත්තා.

ලකුණු 266ක ජයග්‍රහී ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 176ක් පමණයි.

නායක කුසල් මෙන්ඩිස් ලකුණු 42ක් රැස්කර ගත්තා.

20යි 20 තරගාවලියේදී මෙන්ම පළමු එක්දින තරගයේදීද සිය වගකීම හරිහැටි ඉටුනොකළ චරිත් අසලංක එක් ලකුණකට දැවීගියා.

ශ්‍රී ලංකා ඉනිමේ කඩුළු 7ක් ලකුණු 133ක් තුළ දැවී තිබියදී 8වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ
දුනිත් වෙල්ලාලගේ සහ දුෂ්මන්ත චමීර ලකූණු 43ක සබඳතාවක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා ඉනිම යම්තාක ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යමින්.

දුනිත් වෙල්ලාලගේ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 45ක් රැස්කළා.

විල් ජැක්ස් ලකුණු 22කට කඩුලු 5ක් දවාගනිමින් තරගයේ වීරයා ලෙසද සම්මාන දිනාගත්තා.

ඒ අනුව එංගලන්තය පළමු එක්දින තරගයෙන් ලකුණු 89කින් ජයගත් අතර දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය හෙට ලීඩ්ස් හීදි පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *