තුන්වන වරටත් කාන්තා ආසියානු කුසලාන 20-20 ක්රිකට් තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට චමරි අතපත්තු ප්රමුඛ ශ්රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ මෙවර ආසියානු කුසලානයේ දෙවන අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන කණ්ඩායම පරාජයට පත්කරමින්.
ඩුබායි ක්රීඩාංගණයේදී පැවති එම තරගයේ කාසියේ කාසියේ වාසිය දිනු ශ්රී ලංකා නායිකා චමරි අතපත්තුගේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා පිල නියමිත පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 130ක් රැස් කිරීමට සමත්වුණා.
නායිකා ෆාතිමා සානා නොදැවී ලකුණු 47ක් රැස් කළ අතර පන්දු යැවීමේදී නායිකා චමරි අතපත්තු සහ 17 හැවිරිදි චමුදි ප්රබෝධා කඩුලු දෙක බැගින දවා ගත්තා.
ලකුණු 131ක ජයග්රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 33ක් තුළ දැවී ගියේ කණ්ඩායම දැඩි පීඩනයකට ලක්කරමින්.
කෙසේවෙතත් පස්වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ කවීෂා දිල්හාරි සහ හර්ෂිතා සමරවික්රම ඉතා පරිණත ලෙස ශ්රී ලංකා ඉනිම ගොඩනගමින් පන්දු 59කදී ලකුණු 67ක සබඳතාවක් ගොඩනැගුවා.
හර්ෂිතා ලකුණු 36කටත් කවීෂා ලකුණු 33කටත් දැවීයාමෙන් අනතුරුව ශ්රී ලංකා පිලේ ජයග්රහණය කරා රැගෙන යාමේ වගකීම පැවරුණේ නිලක්ෂිකා සිල්වා සහ කෞෂිනී නුත්යාගනාටයි.
අවසන් පන්දු 12ට ලබාගත යුතුව තිබූ ලකුණු 13 පන්දු 4කදී ලබාගනිමින් පසුගිය තරග කිහිපයේදී මෙන්ම ඊයේ තරගයේදීත් ඔවුන් දෙදෙනා ශ්රී ලංකා කණ්ඩායම ජයග්රාහී කඩඉම වෙත රැගෙන ගියේ ශ්රී ලංකාවට තුන්වන වරටත් ආසීයානු කුසලානයක අවසන් මහා තරගයට පිවිසීමට දොරටු විවර කරමින්.
මෙවර ආසියානු කුසලාන කාන්තා 20-20 තරගාවලියේ අවසන් මහා තරගය ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ඩුබායි ක්රීඩාංගණයේදි හෙට පැවැත්වීමට නියමිතයි.
