ICC ය ශ්‍රී ලංකාවට රතු එළි දැල්වූවාද ? ඉරාන් ඇත්තම කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය නවීකරණය කරන අරමුණින් සකස් කෙරෙමින් පවතින නව ව්‍යවස්ථාව මඟින් ආයතන පාලනයේ විශාල වෙනස්කම් රැසක් හඳුන්වා දීමට යෝජනා වී ඇති බව ක්‍රිකට් පරිවර්තන කමිටුවඅද  (25දා) පෙරවරුවේදී අනාවරණය කළේය.

කමිටුවේ මාසික මාධ්‍ය හමුව අමතමින් ගරු ලේකම් ප්‍රකාශ් ශාෆ්ටර් මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සකස් කරනු ලබන නව ව්‍යවස්ථා කෙටුම්පත මේ වන විට ඉතාමත් ඉදිරි අවධියක පවතින බවත්, එය දේශීය අවශ්‍යතා පමණක් නොව ජාත්‍යන්තර පාලන ප්‍රමිතීන් ද සැලකිල්ලට ගනිමින් සකස් කර ඇති බවත්ය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සහ එංගලන්ත, ඔස්ට්‍රේලියාව දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලන ආකෘති වැනි ප්‍රමුඛ ක්‍රිකට් පාලන ව්‍යුහ අධ්‍යයනය කරමින් මෙම නව ව්‍යවස්ථාව නිර්මාණය කර ඇති බවයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය වඩාත් වෘත්තීයමය, පාරදෘශ්‍ය සහ නීතිමය වශයෙන් ශක්තිමත් කිරීම මෙම ව්‍යවස්ථාවේ මූලික අරමුණ වී තිබේ.

මෙම කෙටුම්පත සකස් කිරීමේදී ICC හි හිටපු නීති අංශ ප්‍රධානී ඩේවිඩ් බෙකර් මහතාගේ සහාය ලබාගෙන ඇති බවද කමිටුව හෙළි කළේය. ජාත්‍යන්තර ක්‍රිකට් පාලන ප්‍රමිතීන්, වගවීමේ ක්‍රමවේද සහ නීතිමය ව්‍යුහ සම්බන්ධ විශේෂ දැනුම ඔහු සතු බැවින්, ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් සකස් කිරීම සඳහා එම සහාය ලබාගෙන ඇතැයි ප්‍රකාශ් ශාෆ්ටර් මහතා පැවසීය.

කමිටු සභාපති එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේ මෙම කෙටුම්පත ඉදිරියේදී නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කෙරෙන බවයි. ඉන් අනතුරුව අවශ්‍ය නීතිමය පරීක්ෂාවන් හා සංශෝධන සිදුකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු පැවසීය. කෙසේ වෙතත්, නීතිමය ක්‍රියාවලිය, පරීක්ෂණ සහ අනුමැති පියවර කිහිපයක් ඉදිරියේ පවතින බැවින්, නව ව්‍යවස්ථාව සම්මත වන නිශ්චිත කාලසීමාවක් මේ අවස්ථාවේ ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම, නව ව්‍යවස්ථාව යටතේ ස්වාධීන අධ්‍යක්ෂවරුන් ඇතුළත් කිරීම ද වැදගත් යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇත. ක්‍රිකට් පරිපාලනයේ තීරණ ගැනීමේදී එකම පාර්ශ්වයකට අධික බලයක් සංකේන්ද්‍රණය නොවීම, මූල්‍ය හා පරිපාලන කටයුතු පිළිබඳ බාහිර හා ස්වාධීන අධීක්ෂණයක් පවත්වා ගැනීම, සහ ප්‍රධාන තීරණ වඩාත් වෘත්තීයමය පදනමක් මත ගැනීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව කමිටුව පෙන්වා දුන්නේය.

නව පාලන ව්‍යුහයේ තවත් වැදගත් අංගයක් වන්නේ කාන්තා නියෝජනය අනිවාර්ය කිරීමයි. ක්‍රිකට් පරිපාලනයේ ඉහළ මට්ටමේ තීරණ ගැනීමේ තනතුරුවල කාන්තාවන්ට ද අවස්ථාව ලබාදීම මෙහි අරමුණය. කෙසේ වෙතත් මෙම කෙටුම්පත තවදුරටත් සමාලෝචනයට හා අනුමැතියට යටත් වන අතර, අවසන් වශයෙන් සම්මත වීමෙන් පසුව පමණක් ක්‍රියාත්මක වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *