ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ විශිෂ්ට ශතකය හමුවේ මෙවර කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගවටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තු රදවා ගන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකිවුණා.
ඒ අයර්ලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 9කින් පරාජය කරමින්.
බ්‍රිස්ටල් හී පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 130ක් රැස්කර ගත්තා.
නායිකා ගැබි ලුවිස් ලකුණු 59ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී මිතලි අයොද්‍යා, සුගන්දිකා කුමාර, චමිරි අතපත්තු සහ නිලක්ෂිකා සිල්වා අතරේ එක් කඩුල්ල බැගින් බෙදීගියා.
ලකුණු 131ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සඳහා ශ්‍රී ලංකා ඉනිම චමරි අතපත්තු සමඟින් ඉමේෂා දුලානි ඇරඹුවා.
පළමු කඩුල්ලට පන්දු 72කින් ලකුණු 98ක සබඳතාවක් ගොඩ නැගූ ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ජය මාවත විවර කළා.
ඉමේෂා දුලානි ලකුණු 20යි.
සුපිරි පිතිහරඹයක නියැලුණු නායිකා චමරි අතපත්තු පන්දු 61කින් නොදැවි ලකුණු 106ක් රැස්කළේ කාන්තා 20-20 ලෝක කුසලානයකදී ඇය රැස්කළ පළමු ශතකයට හිමිකම් කියමින්.
චමරිගේ ශතකය වාර්තා අතරට එක්වුණේ බ්‍රිස්ටල් ක්‍රීඩාංගණයේ 20-20 තරගයකදී ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් රැස්කළ වේගවත්ම ශතකය ලෙසටයි.
චමරි 20-20 පිටිය තුළ රැස්කළ සිව්වැනි ශතකයද මෙය වනවා.
ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 3ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර ගියා.
තරගයේ වීරයා චමරි අතපත්තු.
