ෂම්මිලාගේ කෝටියට සාධාරණයක් කළ රුමේෂ්

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයට නව පිටුවක් එක් කළ රුමේෂ් තරංගගේ දක්ෂතාවයට පසුබිම වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සහයෝගය
ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ නව ඉතිහාසයක් සනිටුහන් කරමින් ඉතාලියේ රෝම නුවර පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර් 92.62ක විශිෂ්ට දක්ෂතාවක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර වේදිකාවේ තවත් ඉහළට ඔසවා තැබීය.ො

ලොව ප්‍රමුඛතම මලල ක්‍රීඩකයන් සහභාගී වන ඩයමන්ඩ් ලීග් තරගාවලියේ සිව්වන අදියරේදී වාර්තා වූ මෙම දක්ෂතාවය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ. රුමේෂ්ගේ මෙම හෙල්ල විසි කිරීම නව ශ්‍රී ලංකා වාර්තාවක් පමණක් නොව, ආසියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ දෙවන හොඳම හෙල්ල විසි කිරීමේ දක්ෂතාව ලෙසද සටහන් විය. එමෙන්ම ලෝක ඉතිහාසයේ හොඳම දක්ෂතා අතර අටවැනි ස්ථානයටද ඔහු පැමිණීමට සමත් විය.


තවද 2026 වසර තුළ ලෝකයේ වාර්තා වූ හොඳම හෙල්ල විසි කිරීමේ දක්ෂතාවය ලෙස මෙම ප්‍රතිඵලය සැලකෙන අතර, එම වසරේ මීටර් 90 සීමාව ඉක්මවා ගිය පළමු සහ එකම ක්‍රීඩකයා වීමේ ගෞරවයද රුමේෂ් සතු විය. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 90 සීමාව ඉක්මවා හෙල්ල විසි කළ පළමු ක්‍රීඩකයා ලෙසද ඔහු නව වාර්තාවක් පිහිටුවීය.


රුමේෂ් තරංගගේ අද දක්නට ලැබෙන ජාත්‍යන්තර සාර්ථකත්වය පිටුපස ඔහුගේ අසීමිත කැපවීම මෙන්ම නිසි අවස්ථාවේ ලැබුණු සහයෝගයද ප්‍රධාන සාධකයක් වී තිබේ. රුමේෂ් ක්‍රීඩා දිවියේ අභියෝගාත්මක කාලයක් ගත කළ අවස්ථාවේ ඔහුගේ දක්ෂතාවය සහ අනාගත හැකියාව නිවැරදිව හඳුනාගෙන සහයෝගය ලබාදීමට ඉදිරිපත් වූයේ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවයි.


ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් සීමා නොවී, ශ්‍රී ලංකාවේ අනෙකුත් ක්‍රීඩා ක්ෂේත්‍රවල දක්ෂතා දිරිගැන්වීමේ දැක්මක් සහිතව කටයුතු කළ ශම්මි සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ රුමේෂ්ට අවශ්‍ය මූල්‍ය සහ ආයතනික ශක්තිය ලබා දෙන ලදී. එම සහයෝගය නිසා ඔහුට ආර්ථික ගැටලු සහ අනෙකුත් බාධක පසෙක තබා සිය පුහුණුව සහ ක්‍රීඩා දියුණුව කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීමට හැකි විය.


අද රුමේෂ් මීටර් 92.62ක දැවැන්ත දක්ෂතාවක් වාර්තා කරමින් ශ්‍රී ලංකා වාර්තා අලුත් කරන විට, එම ජයග්‍රහණය පිටුපස ඔහුට විශ්වාසය තැබූ සහ ඔහුගේ ගමනට ශක්තියක් වූ පාර්ශ්වයන්ගේ දායකත්වයද සිහිපත් කළ යුතුය. දක්ෂතාවය හඳුනාගෙන නිසි වේලාවේ ආයෝජනය කිරීමෙන් ශ්‍රී ලංකාවට ලෝක මට්ටමේ ජයග්‍රහණ ලබා ගත හැකි බවට රුමේෂ්ගේ සාර්ථකත්වය කදිම උදාහරණයක් වී තිබේ. එහිදී ශම්මි සිල්වා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණය අද ප්‍රතිඵල ලබා දෙන දූරදර්ශී පියවරක් ලෙස සැලකිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *