ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන දේශීය ක්‍රිකට් තරගවලදී මෙතෙක් ක්‍රීඩා කළ ක්‍රීඩා සමාජ බොහොමයක ප්‍රබල ක්‍රීඩකයන් එම ක්‍රීඩා සමාජවලින් ඉවත් වී වෙනත් ක්‍රීඩා සමාජවලට මාරු වෙමින් පවතී. මෙලෙස ක්‍රීඩකයන් මාරුවීමේ රැල්ලක් නිර්මාණය වී ඇති අතර, මේ හේතුවෙන් නව තරග වාරය වඩාත්ම තරගකාරී එකක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙතෙක් වසර 9ක කාලයක් සීසීසී ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ වනිඳු හසරංග එම ක්‍රීඩා සමාජයෙන් ඉවත් වී කෝල්ට්ස් පිලට එක්විය යුතු යැයි කළ ලිඛිත ඉල්ලීමට සීසීසී ක්‍රීඩා සමාජය අවසරය ලබාදී ඇති බැවින් ඔහු ඉදිරි තරගවාරයේදී කෝල්ට්ස් පිලට ක්‍රීඩා කරනු ඇත. වනිඳු හසරංග 2017දී ශ්‍රී ලංකා පිලට එක්වීමේ අවස්ථාව ලබා ගත්තේද සීසීසී ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් සිටියදීය.
වනිඳු සී සී සී ක්‍රීඩා සමාජයෙන් ඉවත්විමට ප්‍රධානතම හේතුව වූයේ ශම්මි සිල්වා ප්‍රමුඛ පැවති පරිපාලනය ක්‍රීඩකයින්ගේ ශාරිරික යෝග්‍යාත පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමයි.
එම තීරණය හේතුවෙන් වනිඳු හසරංගට මෙවර අයි පී එල් තරගාවලියටද ක්‍රීඩා කිරීමට හැකියාව ලැබුණේ නැහැ.
ශම්මිලාගේ තීරණය නොරිස්සූ වනිඳු හසරංග සී සී සී ක්‍රීඩා සමාජය හැරයාමට කටයුතු කළේ ඒ අනුවයි.
වනිඳු ඉවත්වීමත් සමඟ පොලිස් ක්‍රීඩා සමාජයේ දිලුම් සුධීර හා අශේන් බණ්ඩාර සීසීසී පිලට එක්වීමට කැමැත්ත පළ කොට තිබේ.
නව තරග වාරයේදී සිංහල ක්‍රීඩා සමාජය (එස්එස්සී) ඔවුන්ගේ සංචිතයට කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ දුනිත් වෙල්ලාලගේ, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ රොන් චන්ද්‍රගුප්ත හා පොලිස් ක්‍රීඩා සමාජයේ කඩුලු රකින පිතිකරු විෂාද් රන්දික ද මාරු වෙති. ටැමිල් යූනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජයේ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ පොලිස් ක්‍රීඩා සමාජයට මාරුවන අතර, ශ්‍රී ලංකා යුද හමුදාවට ක්‍රීඩා කළ මහීෂ් තීක්ෂණ එන්සීසී පිලේ දඟ පන්දු යවන්නකු ලෙස ගිවිසුම්ගත වී තිබේ. හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්නගේ පුත් දුවිඳු තිලකරත්න බ්ලූම්ෆීල්ඩ් සිට මුවර්ස් ක්‍රීඩා සමාජයට මාරු වී ඇත.
ටැමිල් යූනියන් පිලට එන්සීසී පිලේ සිටි ලසිත් ඇඹුල්දෙණිය, රාගම ක්‍රිකට් සමාජයේ බිනුර ප්‍රනාන්දු සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ තනුක දාබරේ පැමිණීමට නියමිතය. රවිඳු රශාන්ත කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ සිට බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයට මාරුවන අතර, ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක විග්නේෂ්වරන් ආකාෂ් බීආර්සී පිලටත්, කුගදාස් මාතුලන් එන්සීසී පිල සමඟත් සම්බන්ධ වී ඇත.
19න් පහළ ක්‍රීඩකයකු වන සෙනුජ වැකුණගොඩ නව තරග වාරයේදී බදුරලිය ක්‍රීඩා සමාජයට එක් වී ඇත. බීආර්සී පිලේ 19න් පහළ ක්‍රීඩක චාමික හීනටිගල නව තරග වාරයේදී ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයට යන අතර, කොළඹ මහනාම විදුහලේ ප්‍රබල ක්‍රීඩක දුල්නිත් සිගේරා සීසීසී ක්‍රීඩා සමාජයේ හා 19න් පහළ නායක විමත් දින්සර ද පාණදුර ක්‍රීඩා සමාජයේ සිටිති.
