FITNESS ටෙස්ට් එකේ ඉහළම ලකුණු දුෂ්මන්තට සහ පවන්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව මැන බැලීම වෙනුවෙන් නව තේරීම් කමිටුව විසින් හඳුන්වාදුන් යෝග්‍යතා පරීක්ෂණය සමත්ව ඇත්තේ ඊට සහභාගීවූ 46 දෙනෙකුගෙන් 27 දෙනෙකු පමණක් බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂනය ක්‍රීඩකයන් අවස්ථා තුනකදී අසමත් වුණොත් ක්‍රීඩක කොන්ත්‍රාත්තුව හෝ ලබානොදෙන බවයි.
නිමාවු පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධවලට ගොදුරුවීම සහ ඔවුන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩකයන් වෙනුවෙන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වීමේ ක්‍රමවේදය ආරම්භ කළා.

මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය කිලෝමීටර 2ක දුර දිවීම සහ ස්කින් ෆෝල්ඩ් පරීක්ෂාව ඇතුළු පරීක්ෂණ 5කින් සමන්විතයි.

ඒ එක් එක් පරීක්ෂණ වලින් ක්‍රීඩකයන් ලබාගන්නා ලකුණු අනුව සමස්ථ ලකුණු ගණනය කෙරෙන අතර ක්‍රීඩකයෙක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත්වීමට නම් ලකුණු 17ට වඩා ලබාගත යුතුයි.

පසුගිය දින කිහිපයේ පැවති අදාළ පරීක්ෂණයෙන් සමත්ව ඇත්තේ ඊට සහභාගීවූ 46 දෙනෙකුගෙන් 27 දෙනෙකු පමණක් බව වාර්තා වනවා.

පරීක්ෂණයේදී ලකුණු 0 සිට 16ට දක්වා ලබාගන්නා ක්‍රීඩකයන් අසමත් ලෙස සැලකෙන අතර ‍ලකුණු 17 සිට 21 දක්වා මධ්‍යස්ථ ලෙසත්, ලකුණු 22 සිට 26 දක්වා ඉතා හොඳ ලෙසත් , ලකුණු 26 සිට 29 දක්වා විශිෂ්ඨ ලෙසත් ඛාන්ඩ 4කට බෙදා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ එම නිර්නායකයන්ට අනුව යෝග්‍යතා පරීක්ෂණය සමත්ව ඇත්තේ ක්‍රීඩකයන් 27 දෙනෙක් පමණක් වන අතර ශාරීරික යෝග්‍යතාව අසමත් ලෙස සැලකෙන ලකුණු 0 සිට ලකුණු 16දක්වා සීමාවේ ක්‍රීඩකයන් 19ක් සිටින බවයි.

සමත්වූවන් අතරින් මධ්‍යස්ථ ඛාන්ඩයේ ක්‍රීඩකයන් 16ක් , ඉතා හොඳ ඛාන්ඩයේ ක්‍රීඩකයන් 9ක් මෙන්ම විශිෂ්ඨ ඛාන්ඩයේ ක්‍රීඩකයන් දෙදෙනෙකුද වනවා.

ලකුණු 29ක් ලබා ගනිමින් උපරිම ලකුණු සංඛ්‍යාව ගත් ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ දුෂ්මන්ත චමීර සහ පවන් රත්නායකයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වීම ,ලීග් තරග වලට සහභාගී වීම මෙන්ම දේශීය තරග වලට ක්‍රීඩා කිරීමටද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වීම අනිවාර්ය බවයි.

එමෙන්ම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ දිගින් දිගටම අසමත් වන ක්‍රීඩකයින් තේරීම් සඳහා සලකා නොබලන බවද වාර්තාවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *