ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) 2026 තරගාවලිය සඳහා සහභාගී වීමට අවසර ඉල්ලා සිටි ක්‍රීඩකයන්ට විරෝධතා නොදැක්වීමේ සහතික (NOC) නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අනිවාර්ය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් (Physical Performance Test) ඔවුන් සමත් වුවහොත් පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
දැනට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික කොන්ත්‍රාත්තු ලාභී සියලුම ක්‍රීඩකයන් වෙනුවෙන් සති අටක විශේෂිත ශාරීරික පුහුණු වැඩසටහනක් පවත්වනු ලබයි. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ඉදිරි ජාත්‍යන්තර තරග සංචාරයන් සඳහා ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා මට්ටම ඉහළ නැංවීමයි.
මෙම වැඩසටහනට සමගාමීව, ක්‍රීඩකයන්ගේ යෝග්‍යතා මට්ටම් පරීක්ෂා කිරීමේ සාමාන්‍ය ක්‍රියාවලියක් ලෙස ක්‍රීඩකයන් අනිවාර්ය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලට ද පෙනී සිටියි.
එම පරීක්ෂණවලින් සමත්වන ක්‍රීඩකයන්ට පමණක් දැනට පැවැත්වෙන දේශීය තරගාවලියට සහභාගී වීමට සහ IPL 2026 සඳහා සහභාගී වීමට අවශ්‍ය NOC සහතිකය හිමිවේ.
ඒ අනුව, සාර්ථකව පරීක්ෂණ නිම කළ දුෂ්මන්ත චමීර, පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් යන ක්‍රීඩකයන්ට IPL සඳහා සහභාගී වීමට NOC සහතික නිකුත් කර ඇත.
නුවන් තුෂාරගේ NOC සහතිකය ලබා ගැනීම ඔහුගේ ඉදිරි ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේ ප්‍රතිඵලය මත තීරණය වේ.
වනිඳු හසරංග, එෂාන් මාලිංග සහ මතීෂ පතිරණ යන ක්‍රීඩකයන් දැනට ආබාධවලින් සුවය ලබමින් පසුවන බැවින්, ඔවුන් තවමත් මෙම පරීක්ෂණයට පෙනී සිට නොමැත.
සෑම ක්‍රීඩකයෙකුම සිය පුනරුත්ථාපන කටයුතු (Rehabilitation) අවසන් වූ පසු අදාළ පරීක්ෂණ සඳහා පෙනී සිටිය යුතුය.
