බ්ලූම්ෆීල්ඩ් – මුවර්ස් තරගයේ පාවාදීමක් – වහාම පරීක්ෂණයක්

අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆීල්ඩ් සහ මුවර්ස් කණ්ඩායම අතර ඉකුත්දා පැවති තරගයේ ජයග්‍රහණය සඳහා මුවර්ස් කණ්ඩායමට බ්ලුම්ෆිල්ඩ් කණ්ඩායම විසින් ලකුණු 147ක පහසු ඉලක්කයක් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

අවසන් දිනයේ තේ පානයටත් පෙර බ්ලුම්ෆිල්ඩ් කණ්ඩායම සිය දෙවන ඉනිම අත්හිටුවා එම පහසු ඉලක්කය ලබාදීම මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.
අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆීල්ඩ් සහ මුවර්ස් අතර මෙම තරගය ඉකුත්දා පැවැත්වුණේ කොළඹ කෝට්ල්ස් ක්‍රීඩාංගණයේදීයි.

මෙම තරගයේ පළමු ඉනිම සඳහා බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 229ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස මුවර්ස් කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 322ක් රැස් කළා.

අනතුරුව ලකුණු 93ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ බ්ලුම්ෆිල්ඩ් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 239ක් ලබා සිටියේදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවේ මුවර්ස් කණ්ඩායමට ලකුණු 147ක පහසු ඉලක්කයක් ලබාදෙමින්.

ලකුණු 83ක් නොදැවී ලබා ශතකය අභියස සිටි ජනිත් ලියනගේ සහ ලහිරු මදුසංකද සිය කණ්ඩායම ගත් මෙම තීරණය සම්බන්ධයෙන් පිටියේදී මවිත වුණා.

අවසන් දිනයේ තේ පානයටත් පෙර බ්ලුම්ෆිල්ඩ් කණ්ඩායම එවැනි පහසු ඉලක්කයක් මුවර්ස් කණ්ඩායමට ලබාදීම සම්බන්ධයෙන් විස්තර විචාරයේ යෙදී සිටි නිවේදකයන් දෙදදෙනා මවිත වුණේ මෙලෙසින්.

ඒ අනුව ලකුණු 147ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මුවර්ස් කණ්ඩායම පන්දුවාර 32යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී එම ඉලක්ක පසු කර යාමට සමත්වුණා.

මෙම ජයත් සමග තුන්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද මුවර්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

කෙසේ වෙතත් කොල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවති තුන් දින තරගයේ මුවර්ස් කණ්ඩායමට ලකුණු 147 පහසු ඉලක්කයක් ලබා දීමට බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට ගත් තීරණය දැඩි ආන්දෝලනයකට තුඩු දී  ඇති අතර මෙම තරගය පිළිබඳ සැකද මතුව ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුම මෙම තරගය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කිරීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *