යොවුන් එක්දින ක්‍රිකට් පිටියේ පිතිකරුවන් දෙදෙනෙකු ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගූ වැඩිම ලකුණු සබඳතාව වාර්තා කිරිමට ශ්‍රී ලංකා යොවුන් පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා අද සමත්වුණා.
ඒ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ ජපාන කණ්ඩායම සමග අද පැවැති තරගයේදී ලකුණු 328ක සබඳතාවක් ගොඩනගමින්.
වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පිල මූලික වටයේ සහභාගි වන පළමු තරගය නැමීබියාවේදී පැවැත්වෙන්නේ ජපානයට එරෙහිවයි.
එහිදී ජපාන කණ්ඩායමේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 4ක් දැවී ලකුණු 387ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
මෙහිදී ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ විරාන් චමුදිත සහ දිමන්ත මහවිතාන පළමු කඩුල්ලට ලකුණු 328ක සබඳතාවක් ගොඩනැගු අතර එය වාර්තා අතරට එක්වුණේ යොවුන් එක්දින පිටියේ ක්‍රීඩකයින් දෙපෙළක් ගොඩනැගූ ඉහළ ලකුණු සබඳතාව ලෙසයි.
මෙහිදී විරාන් චමුදිත ලකුණු 192ක් රැස් කළ අතරය එම ලකුණු සංඛ්‍යාව යොවුන් එක්දින ලෝක කුසලානයක ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද වුණා.
මීටපෙර එම වාර්තාවට ශ්‍රී ලංකාවේ හසිත බෝයගොඩ හිමිකම් කී අතර ඔහු 2018 යොවුන් ලෝක කුසලානයේදී කෙන්යාවට එරෙහිව ලකුණු 191ක් රැස්කර තිබුණා.
ජපානයට එරෙහි අද පැවැති තරගයේදී දිමන්ත මහවිතාන ලකුණු 115ක් රැස් කිරීමට සමත්වුණා.
