වසර 14කට පසු එංගලන්තය කැන්ගරු දේශයේදී ටෙස්ට් ජයක් ලබයි

නත්තල් දිනට පසුදින සාම්ප්‍රදායික බොක්සිං දින ටෙස්ට් තරගය සත්කාරක ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ඓතිහාසික මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි ඊයේ ආරම්භ වුණා.

අළුබඳුන ටෙස්ට් තරගාවලියේ සිව්වැනි තරගය වූ මෙම තරගයේ පළමු දිනය වූ ඊයේ, තරගය නැරඹීමට ප්‍රෙක්ෂකයන් 94,119 දෙනකු ‍මෙල්බර්න් ක්‍රීඩාංගණයට පැමිණ සිටියා.

මීට පෙර 2015 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීමට ප්‍රේක්ෂකයින් 93,013 දෙනෙකු මෙල්බර්න් ක්‍රීඩාංගණයට පැමිණ තිබුණා.

අද ආරම්භ වූ බොක්සිං දින ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 152කට සීමා කිරීමට එංගලන්ත පන්දුයවන්නන් සමත්වුණා.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිලටද ප්‍රබල අභියෝගයක් එල්ල කළ ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් එංගලන්ත පළමු ඉනිම ලකුණු 110කට සිමා කළේ බොක්සිං දින ටෙස්ට් තරගයේ උද්යෝගය ඉහළ නංවමින්.

අනතුරුව ලකුණු 42ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමු දිනය නිමා වන විට කිසිවෙකු නොදැවී ලකුණු 4ක් ලබා සිටියා.

අද ආරම්භ වූ දෙවන දිනයේදී ඔස්ට්‍රේලියා දෙවන ඉනිම ලකුණු 132කට සීමා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා එංගලන්ත පිලට හිමි වූ ඉලක්කයක ලකුණු 175ක්.

එම ඉලක්කයට පහසුවෙන් ළඟාවීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් එංගලන්ත පිතිකරුවන්ට ඉඩ ලබාදුන්නේ නැහැ.

කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කයක් කඩුලු 6ක් පමණක් දැවී පසුකර යාමට සමත්වුණා.

එංගලන්ත කණ්ඩායම මෙලෙස ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගයක් ජය ගත්තේ වසර 14කට පසුවයි.

තරග 5කින් සමන්විත අළුබඳුන තරගාවලිය 3ට 1ක් ලෙස ඔස්ට්‍රේලියා කණ්ඩායම මේ වන විටත් ජය ගෙන අවසන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *