ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කරයි – තරගාවලිය සැලසුම් කළ පරිදි

ශ්‍රී ලංකා රජයේද මැදිහත්වීමෙන් පාකිස්තාන බලධාරීන් ක්‍රීඩකයන්ට උපරිම ආරක්ෂාව සහතික කිරීම නිසා සුපුරුදු පරිදි තරගාවලියට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව එක්දින තරගාවලියේ දෙවැනි තරගය හෙට දිනයේත්, තුන්වැනි තරගය නොවැම්බර් 16 වැනිදාත් පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියකට සහ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර තුන්කොන් 20-20 තරගාවලියකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා පාකිස්තානය බලා පිටත්ව ගියා.

ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය පසුගිය අගහරුවාදා රාවල්පින්ඩි හිදි පැවති අතර එම තරගය ආරම්භ වීමට සුළු වේලාවකට පෙර ඉස්ලාමාබාද් නුවර බෝම්බ පිපිරීමක් සිදුවුණා.

ඉන් පුද්ගලයින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබුණා.

අදාල බෝම්බ පිපිරීම සිදුව තිබුණේ තරගය පැවති රාවල්පින්ඩි නුවරට කිලෝමීටර 17ක දුරින්.

එම සිදුවීමත් සමග ආරක්ෂාව පිළිබඳ ගැටලුකාරි තත්ත්වයක් ඇතිවිය හැකි බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 16 දෙනෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටි බව ක්‍රිකට් ආරංචි මාර්ග ඊයේ සඳහන් කළා.

ඒ හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින තරගය වෙනුවෙන් ඊයේ පැවති පුහුණු සැසියටද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වී තිබුණේ නැහැ.

කෙසේ වෙතත් ශ්‍රි ලංකා – පාකිස්තාන තරගාවලියේ විස්තර විචාරයට එක්ව සිටින ප්‍රවීන විස්තර විචාරක රොෂාන් අබේසිංහ සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිම ආරක්ෂාවක් ලබාදී ඇති අතර ආරක්ෂාව පිළිබඳ කිසිඳු ගැටලුවක් නොමැති බවයි.

කට් – රොෂාන් අබේසිංහ – ප්‍රවින විස්තර විචාරක (පාකිස්තානයේ සිට )
( ආරක්ෂාවේ ගැටලුවක් නැහැ )

මේ අතර ක්‍රීඩකයින් නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණීමට ඉල්ලා ඇති බව කණ්ඩායම් කළමනාකාරිත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැන්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමග අදාල ගැටලුව පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.

ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අදාල සාකච්ඡාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපරිම ආරක්ෂාව තහවුරු කිරීමටත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිදුකළ ඉල්ලීම් කිහිපයකට එකඟතාව පළකිරීමටත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කළ බවයි.

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට සැලසුම් කළ පරිදි තරගාවලියට සහභාගිවන ලෙස දැන්වූ බවද අදාල නිවේදනයේ සඳහන්.

එවන් පසුබිමක කිසියම් ක්‍රීඩකයෙක් හෝ පුහුණුකරුවෙක් නැවත දිවයිනට පැමිණියොත් ඒ සඳහා අතිරේක ක්‍රීඩකයින් තරගාවලියට යොමු කිරීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබුණා.

එමෙන්ම එලෙස යම් ක්‍රීඩකයෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඔහුට වසර දෙකකට වැඩි කාලයක් සඳහා ක්‍රිකට් තහනම් කිරීමටද ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති මොෂීන් නක්වි මහතා පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න මහතා හමුවීමට එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ඊයේ පැමිණ තිබුණා.

එම අවස්ථාවට පාකිස්තාන ආරක්ෂක අංශ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ මහතා ඇතුළු පිරිසක් සහභාගි වුණා.

එම කෙරුණු සාකච්ඡාවලදී ශ්‍රී ලංකා පිලට ලබාදී ඇති ආරක්ෂාව දෙගුණ කිරීමටත්, ක්‍රීඩාංගණවලට ප්‍රේක්ෂකයින් ඇතුළු කර ගැනීමේ පරීක්ෂාවන් තවදුරටත් තර කිරීමටත්, අවශ්‍ය නම් ප්‍රේක්ෂකයින්ගෙන් තොරව තරග පැවැත්වීමටත් එකඟතාව පළ වූ බව කණ්ඩායම් කළමනාකරු මහින්ද හලංගොඩ පැවසුවා.

මේ අතර පාකිස්තානය තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබාදෙන ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි පාකිස්තාන ආරක්ෂක ප්‍රධානීන් සමඟ තමා පෞද්ගලිකවම සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා අද දෙරණට සඳහන් කළා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැඳී සිටින හෝටලයේදී පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති මොෂීන් නක්වි මහතා ශ්‍රි ලංකා ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය සමග ඊයේ රාත්‍රිෙය් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මොෂීන් නක්වී පාකිස්තාන රජයේ අමාත්‍යවරයෙක් ලෙසද කටයුතු කරන අතර ඔහු රජය පාර්ශවයෙන් ශ්‍රි ලංකා කණ්ඩායමට ලබාදෙන ආරක්ෂාව පිළිබඳවද සියයට සියයක සහතිකයක්ද එහිදී ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව සඳහා පාකිස්තාන විශේෂ සන්නද්ධ හමුදා බලකායක් යෙදවීමට පියවර ගෙන ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති මොෂීන් නක්වි ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රි ලංකාව සහ පාකිස්තානය අතර එක්දින තරගාවලියේ ඉතිරි තරග දෙකත්, ශ්‍රී ලංකාව, පාකිස්තාන
ය සහ සිම්බාබ්වේ සහභාගි වන තුන්කොන් 20යි 20 තරගාවලියත් කාලසටහනේ වෙනසක් සමග පැවැත්වීමට කටයුතු කරන පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

ඒ අනුව අද පැවැත්වීමට නියමිතව තිබු දෙවැනි එක්දින තරගය හෙට දක්වා කල් දමා ඇති අතර අවසන් එක්දින තරගය එළඹෙන 16 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ලාහෝර් නුවර පැවැත්වීමට නියමිතව තිබූ තරග සියල්ල රාවල්පින්ඩි හිදීම පැවැත්වීමට නියමිත බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

තුන්කොන් 20යි 20 තරගාවලිය නොවැම්බර් 18 වැනිදා සිට නොවැම්බර් 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට සහභාගි වීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ රාත්‍රියේ පාකිස්තානය වෙත පැමිණියා.

මේ අතර පාකිස්තාන තරග සංචාරය තුළ තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැඳී සිටීමට ගත් තීරණයට පාකිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයින් සිය ස්තුතිය පළ කළේ පළ කරමින් පැවසුවේ පාකිස්තාන වෙත දුෂ්කර අවස්ථාවක සහාය පළ කිරීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ක්‍රීඩකයන්ට කෘතඥතාව පළ කරන බවයි.ඒ වගේම තරග නැරඹීමට පැමිණෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *