සිම්බාබ්වේ හිටපු නායක ෂෝන් විලියම්ස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටීම හේතුවෙන් ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය අවසන් කරන බව එරට ක්‍රිකට් ආයතනය ඊයේ කළ නිවේදනය ලොව පුරා විශාල අවධානයක් ඇති කළේය.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ ටෙස්ට් හා විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කළ ඔහු මෙයට වසර දෙකකට පෙර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පන්දු 87කදී හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් සමඟ ලකුණු 100ක් ලබා සිය 5 වැනි එක්දින ශතකය වාර්තා කරමින් අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කළේය.
මෑත කාලීන සිම්බාබ්වේ ක්‍රිකට් ඉතිහාසයේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක ෂෝන් විලියම්ස් 2005 පෙබරවාරි මාසයේදී ඔහුගේ මංගල තරගයෙන් පසු දශක දෙකකට වැඩි කාලයක් පුරා විවිධ ආකෘති හරහා වඩාත්ම සාර්ථක පිතිකරුවකු වේ.
ක්‍රිකට් ඉතිහාසයේ ඔහු ඉටු කළ වැදගත් කාර්යභාරයට ස්තූති කරමින්, සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය, මෙතැන් සිට ජාතික තේරීම සඳහා ඔහුව කිසිදු අයුරකින් තෝරා නොගන්නා බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කළේය.
39 හැවිරිදි විලියම්ස් සිම්බාබ්වේ වෙනුවෙන් ක්‍රීඩාවේ ආකෘති තුනෙන්ම ලකුණු 9,000 කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර කඩුලු 150 කට වඩා දවාගෙන ඇත. ටෙස්ට් තරග 24කදී ශතක 6ක් හා අර්ධ ශතක 7ක් සමඟ ලකුණු 1946ක්, එක්දින තරගවලදී ශතක 8ක් හා අර්ධ ශතක 37ක් සමඟ ලකුණු 5217ක් හා විස්සයි20 තරග 85කදී අර්ධ ශතක 12ක් සමඟ ලකුණු 1805ක් ලබා ගැනීමට ඔහු සමත් වූ අතර, ඉතිහාසය පුරා සිම්බාබ්වේ බිහිකළ හොඳම ක්‍රීඩකයන් පස් දෙනා අතර ඔහු සිටී.
මෙයට මාස දෙකකට පෙර විලියම්ස් හදිසියේම කණ්ඩායමෙන් ඉවත්ව සිටි අතර, හේතු පිළිබඳව කරන ලද අභ්‍යන්තර පරීක්ෂණයකදී ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ඇති බව සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය කරුණු අනාවරණය කර ගෙන ඇත.
ෂෝන් විලියම්ස් කෙතරම් දක්ෂ ක්‍රීඩකයෙකු වුවද, සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය සියලු කොන්ත්‍රාත් ක්‍රීඩකයන්ගේ වෘත්තීයභාවය, විනය සහ නිල ක්‍රියා පටිපාටිය ආරක්ෂා කිරීම උදෙසා තහනමක් පැනවීමට තීරණය කොට ඇත. එමෙන්ම ලොව පුරා පිළිගත් මත්ද්‍රව්‍ය විරෝධි රෙගුලාසිවලට අනුකූල වීම හා ඒ වෙනුවෙන් ඉහළම ප්රමිතීන් පවත්වා ගැනීමට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.
මේ වසරේ දෙසැම්බර් 31 වැනි දිනෙන් විලියම්ස්ගේ සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය සමඟ ඇති ජාතික කොන්ත්‍රාත්තුව අවසන් වන අතර, පසුගිය දශක දෙක තුළ සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු කළ අතිමහත් දායකත්වය අවංකවම පිළිගෙන අගය කරන බව සිම්බාබ්වේ ක්‍රිකට් ඔහු වෙත දැනුම්දී තිබේ. මෑත ඉතිහාසයේ වඩාත්ම වැදගත් අවස්ථාවන්හිදී විලියම්ස් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති අතර, පිටියේදී සහ ඉන් පිටත සදාකාලික උරුමයක් ඉතිරි කර ඇති බව එම ලිපියේ සඳහන් වේ. විලියම්ස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නවතා ගැනීමට දැන් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපන ආයතනයකට ඇතුළු වී ඇති බව ද කරුණු අනාවරණය වී තිබේ.
