බිලියන 1යි දශම 4කට වැඩි ඉන්දීය ජනතාවට අභිමානයක් ගෙන එමින්, වසර 52ක කාන්තා එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලානයක පහස විඳීමට ඉන්දීය කාන්තා ක්රිකට් කණ්ඩායම මෙවර සමත් වුණා.
දකුණු අප්රිකාව ලොව අවාසනාවන්තම ක්රිකට් දේශය බවට ගොඩ නැගී ඇති මතය නැවත වරක් සනාථ කරමින්, මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේදී දකුණු අප්රිකා කාන්තා කණ්ඩායම ඉන්දියාව හමුවේ පරාජයට පත්වුණා.
හැටදහසකට අධික ප්රෙක්ෂක පිරිසක් රැස්ව සිටි නවි මුම්බායිහි ඩී.වයි පටිල් ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයට දකුණු අප්රිකා කාන්තා ක්රිකට් කණ්ඩායමත්, ඉන්දීය කාන්තා ක්රිකට් කණ්ඩායමත් පිවිසුණේ පළමු වරට කාන්තා එක්දින ලෝක කුසලානයක් ජයගනිමින් ඓතිහාසික අවස්ථාවක කොටස්කරුවන් වීමේ අරමුණෙන්.
මෙවර ලෝක ශූරියන්ට පිරිනැමෙන කුසලානය ක්රීඩාංගණයට රැගෙන ආවේ ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්.
වර්ෂාව හේතුවෙන් පැය දෙකකට අධික කාලයක් පමා වූ තරගයේ කාසියේ වාසිය දකුණු අප්රිකා නායිකාවට හිමිවෙද්දී, කාලගුණයේ වාසිය තමන් සතු කරගැනීමේ අරමුණෙන් ඇය ප්රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියා කණ්ඩායමට ලබාදුන්නා.
ශෆාලි වර්මා සහ ස්මිත්රි මන්දනා පළමු කඩුල්ලට ලකුණු 104ක සාර්ථක සබඳතාවක් ගොඩනැගූ අතර වර්මා පන්දු 78කදී ලකුණු 87ක් රැස් කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළා.
මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ ඉන්දියාව සහභාගි වූ තරග 7දීම ශෆාලි වර්මාට කණ්ඩායමේ ස්ථානයක් හිමිනොවූ අතර ඇය කණ්ඩායමට එක්වූයේ ලෝක කුසලානයේ නිත්ය ආරම්භක පිතිකාරිණිය ලෙස කටයුතු කළ ප්රතිකා රාවල් ආබාධයකට ලක්වීමෙන් පසුවයි.
ඒ අනුව ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 298ක් රැස්කර ගැනීමට සමත් වුණා.
ලකුණු 299ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය ලකුණු දකුණු අප්රිකා කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාගැනීමට නොහැකි වූ අතර එහි ප්රතිපලය වූයේ අවශ්යම අවස්ථාවල දකුණු අප්රිකා කණ්ඩායමේ කඩුළු එකින් එක බිඳ වැටීමයි.
කෙසේවෙතත් නායිකා ලෝරා වුල්වාර්ඩ්ට් සිය එක්දින දිවියේ 11වැනි ශතකය රැස්කරගත් අතර ඇය මෙවර ලෝක කුසලානයේදී ලකුණු 500 ඉක්මවා රැස්කරගනිමින් තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය බවට පත්වුණා.
ලකුණු 101ක් රැස්කරගනෙ සිටි ලෝරා වුල්වාර්ට්ගේ දැවීයාමත් සමග ඩී.අයි පටිල් ක්රීඩාංගණයට රැස්ව සිටි හැටදහසකට අධික ප්රේක්ෂකයින් අමන්දානන්දයට පත්වූයේ ඒ සමඟ ඉන්දියා කණ්ඩායමේ ජයග්රහණය තහවුරු වීම නිසයි.
නඩින් ඩි ක්ලර්ක් දැවීයාමත් සමග ඉන්දියාවට ඓතිහාසික ලෝක කුසලාන ජය හිමිවුණා.
මූලික වටයේ අවසන් තරගයේදී ආබාධයකට ලක්වූ නිත්ය ආරම්භක පිතිකාරිණිය වන ප්රතිකා රාවල්, ජය සැමරීමට පැමිණියේ රෝද පුටුවක ආධාරයෙන්.
තරගයේ දක්ෂතම ක්රීඩිකාව ලෙස 21 හැවිරිදි ශෆාලි වර්මා සම්මාන දිනාගනිද්දී, තරගාවලියේ දක්ෂතම ක්රීඩිකාව ලෙස දිප්ති ශර්මා සම්මාන දිනාගත්තා.
ඒ අනුව වසර 52ක එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලි ඉතිහාසයේ පළමු වරට ඉන්දියාවට ලෝක පහස විඳගත්තා.
ඉන්දීය කාන්තා කණ්ඩායම ලැබූ මෙම ඓතිහාසික ජයග්රහණය ඉන්දීය ජනතාව සැමරූ ආකාරයයි මේ.
ඉන්දීය කාන්තා කණ්ඩායමේ ජයග්රහණයට ඉන්දීය ජනාධිපතිනය සහ ඉන්දීය අග්රාමාත්යවරයා සිය සුබාශිංසන එක්කර තිබුණා.
ජයග්රාහී ඉන්දීය කාන්තා කණ්ඩායමට ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයෙන් ඉන්දියන් රුපියල් කෝටි 40ක ත්යාග මුදලක් හිමිවූ අතර ඉන්දීය ක්රීකට් ආයතනය නිවේදනය කළේ එම මුදලට අමතරව ඉන්දීය ක්රීකට් ආයතනය තවත් ඉන්දීය රුපියල් කෝටි 51ක් දීමනාවක් ඉන්දීය කාන්තා කණ්ඩායමට ලබාදෙන බවයි.
