ඉන්දීය කාන්තා පිල ඉතිහාගස ජයක් ලබමින් අවසන් තරගයට

ජාත්‍යන්තර කාන්තා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ කණ්ඩායමක් හඹාගොස් ජයගත්, ඉහළම ලකුණු සංඛ්‍යාව හඹායමින් මෙවර එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කරගැනීමට ඉන්දියා කණ්ඩායම ඊයේ සමත් වුණා.
ජෙමිමා රොඩ්‍රිග්ස්ගේ සුපිරි පිතිකරණය හමුවේ දෙවන අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව හමුවේ පරාජයට පත්වූයේ වත්මන් එක්දින ලෝක ශූරයන්වන ඔස්ට්‍රේලියාවයි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය හත් වතාවක් ලෝක ශූරයන් වූ ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ සත්කාරක ඉන්දියා කණ්ඩායම අතර ඊයේ නවි මුම්බායි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 49යි පන්දු 5කදී සියළු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 338ක්.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ 22 හැවිරිදි ලිච්ෆීල්ඩ් පන්දු 93කදි ලකුණු 119ක් ලබාගත්තා.

ඇය වාර්තා අතරට එක්වූයේ කාන්තා එක්දින ලෝක කුසලානයක පිළිමළුන් පිටුදැකීමේ වටයේදී ශතකයක් වාර්තා කළ ලාබාලතම ක්‍රීඩිකාව ලෙසයි.

එලිස් පෙරී ලකුණු 77යි.

ලකුණු 339ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 59කදී දැවීගියේ ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු එක්කරමින්.

නමුත් තුන්වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ ජෙමීමා රොඩ්‍රිග්ස්, නායිකා හර්මන්ප්‍රීත් කෝර් සමඟ එක්ව ලකුණු 167ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගුවේ ඔස්ට්‍රේලියානු ජයග්‍රාහී මාවත ඉන්දියාව දෙසට හරවා ගනිමින්.

ලකුණු 89ක් රැස් කරගෙන සිටියදී නායිකා හර්මන්ප්‍රීත් කෝර් දැවී යාමත් සමග සියලු වගකීම් පැවරුණේ ජෙමීමා රොඩ්‍රිග්ස්ටයි.

ජෙමීමා ලබාදුන් උඩපන්දු දෙකක් ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවන් අතින් ගිලිහී යද්දී මැදපෙළ ක්‍රිඩිකාවන් සමග එක්ව ඇය ඉන්දීය ඉනිම ගොඩනැගුවා.

එහිදී ජෙමීමා රොඩ්‍රිග්ස් සිය එක්දින ක්‍රිකට් දිවියේ තුන්වන සහ වටිනාම ශතකය රැස්කළේ නවී මුම්බායි ක්‍රීඩාංගණයට රැස්ව සිටි දහස් සංඛ්‍යාත ඉන්දීය ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත්කරමින්.

අවසන් පන්දුවාර 10දී ඉන්දියාවට ජයග්‍රහණය සඳහා ලකුණු 82ක් ගත යුතුව තිබුණා.

ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 55ක් අවශ්‍යව තිබූ මොහාතක ජෙමීමා ලබාදුන් තවත් උඩපන්දුවක් ටහිලා මැග්‍රාත් අතින් ගිලිහී ගියේ ඔස්ට්‍රේලියාවේ ජයග්‍රහණයේ බලාපොරොත්තුද බිඳදමමින්.

ඒ අනුව 48 වැනි පන්දුවාරයේ 3වැනි පන්දුවට හතරේ පහරක් එල්ල කළ අමන්ජෝත් කෝර් 2017 වසරෙන් පසු ඔස්ට්‍රේලියාවට ලෝක කුසලාන පරාජයක් උරුම කරදෙමින් අවසන් මහා තරගයේ ස්ථානය තහවුරු කරගත්තා.

සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ ජෙමීමා රොඩ්‍රිග්ස් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 127ක්.

ඉන්දියාව කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් තුන්වන අවස්ථාව මෙයවන අතර 2017 වසරෙන් පසු අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව මෙයයි.

තරගයෙන් අනතුරුව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසු විවේකාගාරයට පිවිසි ජෙමීමා රොඩ්‍රිග්ස් ඉන්දීය ක්‍රීඩිකාවන් පිළිගත් අයුරුයි මේ.

ඒ අනුව 2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර එළැඹෙන ඉරිදා පැවැත්වෙනවා.

මෙවර තරගාවලියේ අවසන් මහා තරගය වාර්තා අතරට එක්වන්නේ ඔස්ට්‍රේලියාව හෝ එංගලන්තය නොමැතිව පැවැත්වෙන පළමු එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *