20-20 තරගයකදී ශතකයක් රැස්කළ ලොව ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වීමට 14 හැවිරිදි ඉන්දීය පිතිකරු වයිභව් සූර්‍යවංශි සමත් වුණා.
ඒ ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයේදී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් වාර්තාගත ශතකයක් රැස්කරමින්.
ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වුණේ ජායිපූර්හිදීයි.
එම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 209ක් රැස්කළා.
එහිදී ශුබ්මන් ගිල් පන්දු 50කදී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 84ක්.
ලකුණු 210ක දැවැන්ත ඉලක්කය හඹායම සඳහා රාජ්ස්තාන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසෙන්නේ යශස්වි ජයිස්වාල් සහ 14 හැවිරිදි වයිභව් සූර්‍යවංශියි.
ඉනිම ආරම්භයේ සිටම මොහොමඩ් සිරාජ්, ඉශාන්ත් ශර්මා සහ වොශින්ටන් සුන්දර් යන අත්දැකීම් බහුල පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ 14 හැවිරිදි සූර්‍යවංශි පන්දු 17කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තා.
එම අර්ධ ශතකය වාර්තා කිරීමත් සමග සූර්‍යවංශි වාර්තා අතරට එක්වූයේ අයි.පී.එල් අර්ධ ශතකයක් රැස්කළ ලාබාලතම පිතිකරු සහ 20-20 පිටියේ අර්ධ ශතකයක් රැස්කළ ලාබාලතම පිතිකරු ලෙසයි.
ඉන් නොනැවතුනු වයිභව් සූර්‍යවංශි කරීම් ජනත් යොමුකළ පන්දුවාරයකට ලකුණු 30ක් රැස්කරමින් සිය මංගල ශතකය වෙත ලංවුණා.
වාර්තා පොත් අලුත් කරමින් සූර්‍යවංශි සිය ශතකය රැස්කළේ රශීඩ් ඛාන් යොමුකළ පන්දුවකට මිඩ්විකට් කලාපයට ඉහලින් හයේ පහරක් එල්ල කරමින්.
14 හැවිරිදි වයිභව් සූර්‍යවංශි සිය ශතකය රැස්කිරීමට වැයකළේ පන්දු 35ක් පමණයි.
එය අයි.පී.එල් පිටියේ වාර්තා වූ දෙවන වේගවත්ම ශතකය බවට පත්වූ අතර එම ශතකය දෙවැනි වූයේ කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් 2013 වසරේ පන්දු 30කින් රැස්කළ අයි.පී.එල් ශතකයට පමණක් වීම විශේෂත්වයක්.
ඉන්දීය ක්‍රිකට් පිටියේ දැවැන්තයන් අභිබවා යමින් අයි.පී.එල් පිටියේදී ඉන්දීය පිතිකරුවෙක් රැස්කළ වේගවත්ම ශතකය ලෙසත් සූර්‍යවංශිගේ ශතකය වාර්තා අතරට එක්වුණා.
එමෙන්ම සූර්‍යවංශි ඊයේ සිය ශතකය රැස්කරද්දී ඔහුගේ වයස සටහන් වූයේ අවුරුදු 14කුත් දින 32ක් ලෙසයි.
ඒ අනුව 20-20 තරගයකදී ශතකයක් රැස්කළ ලොව ලාබාලතම පිතිකරු ලෙස වයිභව් සූර්‍යවංශි වාර්තා අතරට එක්වූයේ මීටපෙර වයස අවුරුදු 18දී ඉන්දීය ප්‍රාන්ත තරගයකදී 20-20 ශතකයක් රැස්කළ් විජේ සෝල් අභිබවා යමින්.
වයස අවුරුදු 18දී අයි.පී.එල් ශතකයක් රැස්කරමින් අයි.පී.එල් ශතකයක් රැස්කළ ලාබාලතම පිතිකරු ලෙස මනීෂ් පාණ්ඩේ තබා තිබූ වාර්තාවත් සූර්‍යවංශි ඊයේ බිඳ හෙලුවා.
වයිභව් සූර්‍යවංශිගේ ඉනිම හයේ පහර 11කින් සහ හතරේ පහර 7කින් වර්ණවත් වූ අතර අයි.පී.එල් ඉනිමකදී ඉන්දීය පිතිකරුවෙක් වාර්තා කළ වැඩිම 6 පහර සංඛ්‍යාවේ වාර්තාවද සූර්‍යවංශි ඊයේ සමකිරීමට සමත්වුණා.
වයිභව් සූර්‍යවංශිගේ සුපිරි ඉනිම හේතුවෙන් රාජස්තාන් කණ්ඩායම ඊයේ තරගයෙන් කඩුළු 8ක පහසු ජයක් හිමිකරගත්තා.
මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් යන කණ්ඩායම්වල අනුග්‍රහක හිමිකරුවන් ඉවත් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගිවිසුම් කඩ කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
