සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පරාජය වැළඳගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද ගාල්ල ක්‍රීඩාංගණයේදී සිදු වුණා.
ඒ ඔස්ට්‍රේලියාව සමග පැවති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 242කින් පරාජය වීමත් සමගයි.
ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 654ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 165කට අද සීමා වුණා.
ඊයේ දිනයට තරගය ආරම්භ කරනවිට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට කඩුලු 5ක් දැවි ලකුණු 136ක් රැස්කරගෙන සිටි අතර ශ්‍රී ලංකා පළමු ඉනිමේ ක්‍රියාත්මක වුණේ මිනිත්තු 45ක් පමණ කෙටි කාලයක් පමණයි.
අවසන් කඩුලු 5 ලකුණු 29ක් තුළ දවාගනිමින් ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් ශ්‍රී ලංකා පළමු ඉනිම සුනු විසුනු කළා.
ඒ අනුව ලකුණු 489ක් පිටුපසින් සිටිමින් ඉනිමක පරාජයෙන් බේරීම සඳහා පිට පිට දෙවන වරටත් ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීමට සිදුවූ අතර දෙවන ඉනිමේදීත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් අසාර්ථක වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 247කට සීමා වූ අතර ජෙෆ්රි වැන්ඩර්සේ දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 53ක් රැස් කළා.
මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 242ක ජයක් වාර්තා කළ ඔස්ට්‍රේලියාව තරග 2කින් සමන්විත මෙම තරගාවලියේ 1ට බින්දුවක් ලෙස පෙරමුණ හිමිකර ගත්තා.
ශ්‍රී ලංකා පිල සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලද දැවන්නම පරාජයද මෙය වනවා.
