දින 9ක් පුරා කණ්ඩායම් 6කගේ සහභාගිත්වයෙන් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති ලංකා ටී ටෙන් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ඩේවිඩ් වීස නායකත්වය දරන ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම සහ දසුන් ශානක නායකත්වය දරන හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමයි.
තරගාවලිය සමාප්තිය ගායනයෙන් සහ නර්තනාංගවලින් හැඩ වූ අතර අවසන් තරගය ආරම්භයට පෙර ක්‍රීඩාංගණයට පැමිණි ක්‍රීඩාලෝලීන්ට උපරිම වින්දනයක් ගෙන ආවේ මෙලෙසින්.
තරගයේ කාසියේ වාසිය ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10දි කඩුලු 7ක් දැවී ලකුණු 133ක් රැස් කළා.
මොහොමඩ් ෂෙසාඩ් සහ ෂෙවොන් ඩැනියෙල් ලකුණු 26 බැගින් රැස් කළ අතර නායක දසුන් ශානක පන්දු 10කදී ලකුණු 21යි.
පන්දුයැවීමේදී ට්‍රෙවින් මැතිව්ස් ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත්තා.
ඒ අනුව ලකුණු 133ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 10දී කඩුලු 6ක් දැවි රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 107ක් පමණයි.
ටොම් අබෙල් නොදැවී ලකුණු 54ක් රැස් කළ කළ අතර පන්දුයැවීමේදි රිචඩ් ග්ලීසන් කඩුලු 3ක් සහ නායක දසුන් ශානක කඩුලු 2ක් බිඳ හෙලුවා.
ඒ අනුව අවසන් තරගය ලකුණු 26කින් ජයගත් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පළමු වරට ලංකා ටී ටෙන් සුපර් ලිග් ශූරතාව සිය දෝතට ගත්තා.
