ක්‍රිකට් ඡන්ද අඩු කිරීමට ෂම්මිලා ගත් තීරණය – VIDEO

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂි සංශෝධන කිහිපයක් සිදුකිරීමට අද පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මහා සභා රැස්වීමකදී අනුමැතිය හිමිව තිබෙනවා.

එහි වැදගත්ම කරුණක් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඡන්ද හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 147 සිට 60 දක්වා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකිරීමට අනුමැතිය හිමිවීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසර කිහිපය තුළ පසුබෑමට ලක්වීමත් සමග ක්‍රිකට් පරිපාලනය වෙනස්විය යුතු බවටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙසටත් විවිධ පාර්ශව විසින් යෝජනා ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණදෙන ගැටලු පිළිබඳ කරුණු අධ්‍යයනය කර ඇමැති මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු ඇමැති, ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද ඇමැති මණ්ඩල අනුකමිටු වාර්තාවේ නිර්දේශයන්ට අනුකූලව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කෙරුණා.

එම කමිටුව මගින් කෙටුම්පත් කෙරුණු නව ව්‍යවස්ථා කෙටුම්පත මේ වසරේ ජුනි මාසයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදුන් අතර යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යස්ථාව විධිමත් පරිදි සම්මත කර ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ඉදිරිපත් කෙරුණු ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේ පසුගිය ජූලි මාසයේදීයි.

කෙසේ වෙතත් ඉන්පසුව එම ක්‍රියාවලිය නිසියාකාරව සිදු නොවූ පසුබිමක අද පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මහ සභා රැස්වීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂි සංශෝධන කිහිපයක් සිදුකිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කරමින් ඡන්දය හිමි සාමාජික සංඛ්‍යාව 147 සිට 60 දක්වා අඩු කිරීමට අද පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් අතිවිශේෂ මහා සභා රැස්වීමකදී තීරණය කෙරුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ඡන්ද ක්‍රමය අනුව ඡන්ද අයිතිය ලබාදී ඇත්තේ ක්‍රිකට් සමාජයේ කුසලතා මට්ටම අනුවයි.

එහිදී සුදුසුකම් ලැබූ සියලු ක්‍රීඩා සමාජ සහ සම්මේලනවලට එක් ඡන්දයක් බැගින් පමණක් හිමිවීම විශේෂත්වයක්.

එම පියවර තුළින් සමාජ නියෝජනයක් ඇතිකොට තීරණ ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු කිරීමට හැකිවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් පෙන්වා දෙනවා.

එමෙන්ම මෙම ඓතිහාසික සංශෝධනය මගින් සිය කළමනාකාරණ ව්‍යූහයේ යහපාලනය, විනිවිදභාවය, ඇතුළත් කිරීම සහ කාර්යක්ෂමතාව සඳහා වූ කැපවීම යළි තහවුරු වන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කළා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය කළමනාකරණයේ විනිවිදභාවය ශක්තිමත් කරලීමේ පියවරක් ලෙස විගණන කමිටුවක්, ආයෝජන හා අයවැය කමිටුවක් සහ ආශ්‍රිත ගනුදෙනු කමිටුවක් ස්ථාපිත කිරීමටද මෙම අතිවිශේෂ මහා සභාරැස්වීමේදී ඒකමතිකව අනුමැතිය හිමි වී තිබෙනවා.

මෙරට ක්‍රිකට් ඉතිහාසයේ මං සලකුණක් වන මෙම ව්‍යවස්ථා සංශෝධනය තුළින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු පාර්ශ්වකරුවන් අතර සමානාත්මතාවක් ඇතිවන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය දක්ෂතාව සහ දිවයින පුරා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය උදෙසා දක්වන දායකත්වය සිදුවීම සහතික වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පෙන්වා දෙනවා.

මෙම සංශෝධනවලට අමතරව විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල මැතිවරණ කමිටුව පත් කිරීමටද මෙම අතිවිශේෂ මහා සභාරැස්වීමේදී තීරණය කෙරුණා.

මෙම ව්‍යවස්ථා සංශෝධන මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වෘත්තීය සංශෝධ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වෘත්තීයමයභාවය, විනිවිදභාවය, සමාජයීය ව්‍යූහය පෝෂණය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පූර්ණ වර්ධනයක් කරා රැගෙන යනු ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *