මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ‘ලංකා ඔ10‘ සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතික ප්‍රේම් මනීෂ් ටකාර් දෙසැම්බර් මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
ක්‍රීඩා වැරදි වැළැක්වීමේ අංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන (දෙසැම්බර් 14) වැනිදා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට පමුණුවනු ලැබිණි.
‘ඩොලර් 30000ක් දෙන්න පොරොන්දුවෙලා’
ක්‍රීඩා වැරදී වැළැක්වීමේ විමර්ශන ඒකකය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක, අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වශයෙන් කටයුතු කරන මෙම සැකකරු තම කණ්ඩායමේ ක්‍රීඩා කරන බටහිර ඉන්දීය ක්‍රීඩකයෙකුට තරග පාවාදීම සඳහා යෝජනා කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි.
තමා විසින් නම් කරන පන්දු යවන්නන්ට අදක්ෂ ලෙස ක්‍රීඩා කරන ලෙස මෙම සැකකරු විසින් අදාළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයාට යෝජනා කර තිබෙන බවත්, ඒ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 15,000 ක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වී ඇති බවත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා පැවසුවේය.
මේ ආකාරයෙන් කටයුතු කළහොත් තවත් ඇමෙරිකානු ඩොලර් 30,000ක මුදලක් ලබාදෙන බවට ද එම ක්‍රීඩකයාට මෙම සැකකරු විසින් පොරොන්දු වී තිබෙන බව ද ඔහු පෙන්වා දී තිබේ.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පුළුල් විමර්ශන කිරීමෙන් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහුට එරෙහිව වෝහාරික මෙන්ම අනෙකුත් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවේය.
ඒ අනුව මෙම සැකකරු ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් ඒ අනුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස, අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේ ය.
තමා සිදුකළ වරද සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ මෙම සැකකරු විසින් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් නම් ඇප ඉල්ලීම සම්බන්ධයෙන් කඩිනමින් සලකා බැලිය හැකි බවත් එහිදී රජයේ නීතිඥවරයා පැවසුවේය.
කෙසේ වෙතත් එහිදී මහෙස්ත්‍රාත්වරයා සැකකාර ඉන්දීය ජාතිකයාගෙන් විමසා සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීමට සූදානම් ද යන්නයි.
එම අවස්ථාවේදී සැකකරු සඳහන් කළේ තමා එවැනි ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවයි. කෙසේ වෙතත් මෙම ප්‍රකාශය ලබාදීම පිළිබඳව හොඳින් සිතා බලා ඒ පිළිබඳව මීළඟ දින අධිකරණයට දැනුම් දෙන ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුට පවසා තිබේ. ඉන් අනතුරුව අදාළ සැකකරු අද 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් ක්‍රීඩා දූෂණය වැළැක්වීමේ පොලිස් ඒකකයට නියෝග කරන ලදී.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ අත්අඩංගුවට ගනු ලැබූ ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ හිමිකරු අවස්ථා දෙකකදී විදේශීය ක්‍රීඩකයාව තරග පාවා දීමට පෙළඹවීම් සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
“ඔය කියන ඉන්දීය ජාතිකයා තමයි කණ්ඩායමේ හිමිකරු. එතකොට මේ සිද්ධියට සම්බන්ධ ක්‍රීඩකයා විදේශීය ක්‍රීඩකයෙක්. මේ ක්‍රීඩකයා ලංකාවට එන්න කලින් මෙයත් එක්ක හිතවත්කමක් තිබිලා තියෙනවා.“
“පළවෙනි වතාවට යෝජනා කරලා තියෙනවා එක මැච් එකක් ෆේල් වෙන්න කියලා. ඒකට මේ ක්‍රීඩකයා කෙලින්ම බැහැ කියලා තියෙනවා. ඊට පස්සේ මේ හිමිකරු දිගින් දිගටම බලපෑම් කරද්දී ඒ ක්‍රීඩකයා නිශ්ශබ්දව ඉඳලා තියෙනවා.“
“ඊට පස්සේ මේ කණ්ඩායමේ හිමිකරු දෙවැනි වතාවට යෝජනා කරලා තියෙනවා අර මැච් එකේදී ‘ මම ඔයාව කැප්ටන් කරන්නම්…අහවල් පන්දු යවන්නාව තරගය මැදදී මම කියන වෙලාවට බෝල් කරන්න දාන්න කියලා.‘ එතකොට මේ ක්‍රීඩකයා ඒකටත් එකඟ වෙලා නැහැ.“
“මේ සිද්ධි දෙකත් එක්කම තමයි මේ ක්‍රීඩකයාට තේරුම් ගිහින් තියෙන්නේ මේ මැච් ෆික්සින් එකට තමයි එන්න හදන්නේ කියලා, පස්සේ මේ ක්‍රීඩකයා පැමිණිල්ල අරන් ආවේ.”
“ඉන් පසුවයි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය සිද්ධිය ගැන විමර්ශන ආරම්භ කරලා සැකකරුව අත්අඩංගුවට අර ගත්තේ එයා රටින් පිටවෙන්න උත්සා කරයි කියන සැකය මත.” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
තරග පාවා දීමට අදාළ මෑත ඉතිහාසයේ සිදුවීම්
මුදලට තරග පාවා දීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මෑත ඉතිහාසයේ මෙරට ක්‍රිකට් පිටියෙන් වාර්තා වූ ආසන්නතම සිදුවීම් කිහිපයක් ඇත.
මහනුවර, පල්ලෙකැලේ 2023 වසරේ පැවැති ‘ලෙජන්ඩ් ක්‍රිකට් ට්‍රෝෆි’ තරගාවලියේදී තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා කරමින් ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකරුවකු වූ අමිත් පටෙල් හෙවත් යෝගී පටෙල්ට එරෙහිව උපුල් තරංග විසින් කළ පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් මාතලේ මහාධිකරණය හමුවේ මේ වන විටත් නඩුවක් විභාග වෙමින් තිබේ.
එමෙන්ම මෙම වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ සම හිමිකාරිත්වය දැරූ තමීම් රහ්මාන් නමැත්තා තරග පාවා දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර පසුව ඔහු ඇප මත මුදාහරිනු ලැබීය.
ලංකා ඔ10 තරගාවලියේදී ක්‍රීඩකයෙකු මුදලට තරග පාවා දීමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු අදහස් දක්වමින් පැවසුවේ මෙවර ක්‍රීඩකයින් පමණක් නොව, කණ්ඩායම් කළමනාකරුවන් ඇතුළු සියලුම දෙනා දැනුවත් කිරීමට කටයුතු කළ බවයි.
“සාමාන්‍යයෙන් ලංකාවේ ලීග් තරගාවලියක් සංවිධානය කරද්දී අපි ෂක්‍ක් ඒකෙ දූෂණ විරෝධී ඒකකයේ නිලධාරීන්ට ආරාධනා කරනවා ලංකාවට එන්න කියලා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකෙ තියෙනවා වෙනම ඒකකයක්. මේ ඔක්කොම නිලධාරීන් හැම තරගයකටම සහභාගී වෙනවා. වැරැද්දක් වුණොත් ඉක්මනටම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.“
“ලෝකයේ අනිත් රටවල තියෙන ලීග් තරගාවලිවලදී මෙහෙම ඇන්ටි කරප්ෂන් එකේ නිලධාරීන් යන්නේ නැහැ.”
“මේ පාර ටූනමන්ට් එක පටන් ගන්න කලින් අපි ක්‍රීඩකයින්ව විතරක් නෙමෙයි, කණ්ඩායම්වල මැනේජස්ලගේ ඉඳලා හැම කෙනෙක්ම මුදලට තරග පාවාදීම් සිදුවීම් ගැන දැනුවත් කළා. ඒ වගේමයි අපි ලීෆ්රට්ස් පවා ප්‍රින්ට් කරලා දුන්නා.
