ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වැනිදා සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.
දෙස් විදෙස් සුපිරි ක්‍රිකට් තරු රැසක් ඒක්වන තරගාවලිය දෙසැම්බර් මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා කණ්ඩායම් හයකගේ සහභාගිත්වයෙන් පැවැත්විමට නියමිතයි.
සෑම කණ්ඩායමකටම සිය සංචිතය සඳහා උපරිම වශයෙන් ක්‍රීඩකයින් 17 දෙනෙකු හා අවම වශයෙන් ක්‍රීඩකයින් 15 දෙෙනකු තෝරාගත හැකි වනවා.
තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින්ට නොවැම්බර් මස පළමුවැනිදා සිට ලියාපදිංචි විය හැකියි.
නොවැම්බර් 5 වැනිදා වන විට සියලු කණ්ඩායම් විසින් ක්‍රීඩකයින් 6 දෙනෙකු සමග ඍජුව ගිවිසුම් ගත වීමද සිදුවිය යුතු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ක්‍රීඩක කෙටුම්පත් කිරීම වට 11 කින් සමන්විත අතර පළමු වට දෙකේදී එක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සහ විදෙස් ක්‍රීඩකයෙකු ඒ කාණ්ඩය යටතේ මිලදී ගැනීමට කණ්ඩායම්වලට අවස්ථාව උදාවනවා.
එහිදි එක් ක්‍රීඩකයෙකුට හිමිවන වටිනාකම අමෙරිකානු ඩොලර් 35,000ක්.
තෙවැනි හා සිව්වැනි වටවලදී ඒ ආකාරයෙන්ම දේශීය හා විදේශීය ක්‍රීඩකෙකු බී කාණඩය යටතේ තෝරා ගැනීමට කණ්ඩායම් කළමනාකරුවන්ට අවස්ථාව හිමිවනවා.
එහි එක් ක්‍රීඩකයෙකුගේ වටිනාකම අමෙරිකානු ඩොලර් 20,000ක්.
5,6, සහ 7 යන වටවලදී දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු හා එක් විදෙස් ක්‍රීඩකයෙකු තෝරා ගැනීමේ අවස්ථාව හිමිවනවා. ඒ සී කාණ්ඩය යටතේයි.
එම වටයේදී මිලදී ගන්නා ක්‍රීඩකයෙකුගේ වටිනාකම අමෙරිකානුඩොලර් දස දහසක්.
8 වැනි වටය ඉලක්ක කර ඇත්තේ නැගී එන ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු තෝරා ගැනීමටයි.
ඒ සඳහා එම ක්‍රීඩකයෙකුට අමෙරිකානු ඩොලර් 2500ක වටිනාකමක් හිමිවනවා.
9 වැනි වටයේදී ඩොලර් 2500ක වටිනාකමක් යටතේ සිම්බාබ්වේ හෝ බටහිර ඉන්දිය කොදෙව් නැගී එන ක්‍රීඩකයෙකු තෝරා ගැනීමට කණ්ඩායම් හිමිකරුවන්ට අවස්ථාව උදාවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.


