ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලයේ වෘත්තීයමයභාවය සහ විනය සම්බන්ධ ප්‍රමිතීන් වැඩි දියුණු කිරීමේ අරමුණෙන් නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම්වන බව වාර්තා වනවා.
මෑත කාලීනව ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් සිදුවූ විනය සම්බන්ධ අඩුපාඩු හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මාර්ගෝපදේශ මාලාව හඳුන්වා දීමට හේතුවී තිබෙනවා.
මෙමගින් රටේ සහ ක්‍රීඩාවේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීම ක්‍රිකට් ආයතනයේ අරමුණ වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම මාර්ගෝපදේශ මාලාවෙන් ක්‍රීඩකයන්ගේ හැසිරීම්, ඇඳුම් පැළඳුම්, ගමන් බිමන්, නවාතැන්, මාධ්‍ය සමග ගනුදෙනු කරන ආකාරය සහ තරග සංචාරවලට අදාළ ක්‍රියාකාරකම් වැනි විවිධ අංශ ආවරණය වනවා.
නව මාර්ගෝපදේශ මාලාවට අනුව ස්ථාපිත කෙරෙන නීති පහත දක්වා තිබෙනවා.
විනය සහ ඇඳුම් පැළඳුම්
ක්‍රීඩකයන්ගේ සහ සහාය කාර්ය මණ්ඩලය විවිධ අවස්ථාවන් සඳහා ඒ ඒ අවස්ථා වෙනුවෙන් නිර්දේශ කරන නිශ්චිත ඇඳුම් පැළඳුම් භාවිත කළ යුතුයි.
උදාහරණයක් ලෙස, කණ්ඩායම් ඡායාරූප අතරතුර, ක්‍රීඩකයින් නිල ඇඳුම ලෙස සපයා ඇති කමිසය, කලිසම් සහ බ්ලේසර් පැළඳිය යුතුයි.
කාසියේ වාසිය, ජාතික ගීය සහ තරගයෙන් පෙර සහ පසු සම්මාන පිරිනැමීමේ අවස්ථා සඳහා ක්‍රීඩකයින්ගේ නිල ඇඳුම අනිවාර්ය වේ.
මීට අමතරව, වෘත්තීයමය පෙනුමක් පවත්වා ගැනීම සඳහා මෙම අවස්ථාවලදී කොට කලිසම් සහ සෙරෙප්පු භාවිතා කිරීම මාර්ගෝපදේශ මාලාවෙන් තහනම් කරයි.
පසුගියදා පැවති ICC T20 ලෝක කුසලාන තරඟාවලිය අතරතුර, හිටපු ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග, දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේ කාසියේ වාසිය සඳහා කමිසය යට නිකරබ්පිටියට පැමිණ සිටියේ මහත්වරුන්ගේ ක්‍රීඩාවේ සම්ප්‍රදායන්ට ගරු නොකරන ආකාරයටයි.
ඔහු මේ වසරේ දෙවතාවක් විනිසුරුවන් සමඟ වාද විවාදවලට සම්බන්ධ වූ අතර, පිටියේ ඔහුගේ හැසිරීම සැලකිය යුතු මහජන විවේචනයට ලක් වූ අතර, ඔහු කණ්ඩායමෙන් ඉවත් කිරීමට පෙර නායකත්වයෙන් ඉල්ලා අස්වීමට එම සිදුවීම් හේතුවුණා.
සමාජ මාධ්‍ය සහ පුවත්පත් සාකච්ඡා
වෘත්තීයභාවය පවත්වා ගැනීම සඳහා සංචාරය අතරතුර සමාජ මාධ්‍ය, වීඩියෝ ක්‍රීඩා, රාත්‍රී චිත්‍රපට සහ ඒ හා සමාන ක්‍රියාකාරකම් කිරීම මාර්ගෝපදේශ මාලාවෙන් සීමා කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාගේ ලිඛිත අවසරයකින් තොරව සමාජ මාධ්‍යවල පෝස්ට් පළ කිරීම, අදහස් දැක්වීම හෝ සම්මුඛ සාකච්ඡා ලබා දීම ක්‍රීඩකයින්ට සහ සහායක කාර්ය මණ්ඩලයට තහනම් වේ.
ක්‍රීඩක කලමණාකරු මාර්ගෝපදේශ
කණ්ඩායම රැඳී සිටි හෝටල්වලට ක්‍රීඩක කළමනාකරුවන්ගේ පැමිණීම නිතර දක්නට ලැබුණා.
පසුගිය වසරේ ඉන්දියාවේ පැවති පන්දුවාර 50 ලෝක කුසලාන තරඟාවලියේදී සමහර ක්‍රීඩක කළමනාකරුවන් කණ්ඩායම් හෝටල්වල සිටිනු දක්නට ලැබුණු අතර, පසුගිය T20 ලෝක කුසලාන තරඟාවලියේදී ඔවුන් ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය සමඟ සමීපව කටයුතු කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ රැඳී සිටි බව වාර්තා වනවා.
කෙසේ වෙතත්, නව මාර්ගෝපදේශවල සඳහන් වන්නේ ක්‍රීඩකයින්ට සහ සහායක කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ ක්‍රීඩක කළමනාකරුවන් හමුවීමට සංචාරයේ සම්පූර්ණ කාලසීමාව සහ ගමන් කරන අතරතුර අවසර නොමැති බවයි.
මීට අමතරව, කණ්ඩායම් රැස්වීම් සඳහා ක්‍රීඩක කළමනාකරුවන්ට ආරාධනා කිරීමට ඔවුන්ට අවසර නැත.
තරග සංචාර සහ නවාතැන්
තරඟාවලියක් ආරම්භ වීමට සති දෙකකට පෙර කළමනාකරු විසින් සකස් කරන ලද තරග සංචාර තොරතුරු ක්‍රීඩකයින්ට ලබා දෙන බව මාර්ගෝපදේශවල සඳහන් වේ.
ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය කිසිදු බලපෑමකින් තොරව කළමනාකරුගේ තීරණවලට අනුගත වීය යුතු අතර ගමන් සැලැස්මේ ඕනෑම වෙනස්කමක් කොන්දේසි විරහිතව පිළිගත යුතුය.
තරඟ දින සහ පුහුණුවීම් සිදුකරන අවස්ථාවලදී දුරකථන භාවිතය තහනම් කර ඇති අතර, ප්‍රමාණවත් විවේකයක් සහ සූදානමක් සහතික කිරීම සඳහා ක්‍රීඩකයින් කළමනාකරු විසින් නියම කර ඇති හෝටලයට නැවත පැමිණිය යුතු වේලාවේ නීතිය පිලිපැදිය යුතුයි.
දෛනික දීමනා සහ ගමන් මලු දීමනාව
මාර්ගෝපදේශ මාලාවේ තරග සංචාර අතරතුර ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය සඳහා ලබාදෙන දීමනා පිළිබඳ සවිස්තරාත්මකව සඳහන් කර ඇත.
රටින් පිට තරග සංචාර සඳහා දිනකට USD 150 ක දීමනාවක් සහ මෙරටදී පැවැත්වෙන තරග සඳහා දිනකට USD 100 ක දීමනාවක් ලබා දේ.
මෙම දීමනාව දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය සඳහා සහ වෙනත් ආහාර සහ පාන (මද්‍යසාර නොවන) ආවරණය කිරීමට ලබාදෙන අතර, එම මුදල ඉතිරි කර ගැනීම සඳහා හිතාමතාම ආහාර ගැනීමෙන් වැළකී සිටීම තහනම් කර ඇත.
රටින් පිට සංචාර වලදී ගමන් මලු සඳහා 80Kg දීමනාවක් හිමිවන අතර කළමනාකරුගේ අනුමැතියට යටත්ව අතිරේක 20Kg ක් ලබාගත හැකියි.
පිටරට තරග සංචාර සඳහා ලබාදෙන මෙම දීමනාව දැඩි ලෙස සංචාරයට අදාළ භාණ්ඩ සඳහා වන අතර සංචාරය සම්බන්ධ නොවන පුද්ගලික බඩු බාහිරාදිය සඳහා මෙම දීමනාව අදාල නොවේ.
ගුවන් ගමන් සහ තරග සංචාර කාලසටහන
කොන්ත්‍රාත්තුවට අනුව ව්‍යාපාරික පන්තියේ ගමන් සඳහා සපයා ඇති සුවිශේෂී හේතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනුමත නොකළහොත් ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය එක්ව ගමන් කළ යුතුය.
දෛනික පුහුණු කාලසටහන කළමනාකරු, පුහුණුකරු සහ නායකයා විසින් තීරණය කරනු ලබන අතර,එය මගහැරීමකින් තොරව පිළිපැදිය යුතුය.
කළමනාකරුගේ උපදෙස් පිළිපැදීමට අපොහොසත් වීම වහාම ශ්‍රී ලංකාවට පැමිණීමට හේතු විය හැකියි.
පවුලේ සාමාජිකයන් රැගෙන යාම සහ කණ්ඩායම් තේරීම්
දින 20කට වැඩි පිටරට තරග සංචාර සඳහා, ක්‍රීඩකයින්ට සංචාරයේ අවසාන භාගයේදී දින 12ක් දක්වා ඔවුන්ගේ කාලත්‍රයා සහ අවුරුදු 5ට වැඩි දරුවන් සමඟ යා හැකිය.
හවුල්කරුවන්, සහෝදර සහෝදරියන්, දෙමාපියන් හෝ වෙනත් පුද්ගලයින්ට අවසර නොමැති බවත්, කලත්‍රයා සහ දරුවන් සඳහා වන සියලුම අමතර වියදම් ක්‍රීඩකයා විසින් දැරිය යුතු බවත් මාර්ගෝපදේශ අවධාරණය කරයි.
සංචාරයේ යෙදී සිටින අතරතුර කණ්ඩායම තෝරා ගැනීම පුහුණුකරු, නායකයා, උපදේශක සහ තේරීම් කමිටු
නිලධාරියාගේ වගකීම වන අතර, සම තත්ත්වයකදී ඡන්දයකට යාමට කළමනාකරුට අවසර හිමි වේ.
උල්ලංඝනය කිරීම් සඳහා දඬුවම්
මෙම මාර්ගෝපදේශ බලාත්මක කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උල්ලංඝනය කිරීම් සඳහා දඬුවම් නියම කර ඇත.
තනි උල්ලංඝනයන් සඳහා ක්‍රීඩකයින්ට සහ සහායක කාර්ය මණ්ඩලයට USD 10,000 දක්වා දඩ නියම කළ හැකි අතර බරපතල කඩ කිරීම් හෝ විෂමාචාරයන් ශ්‍රී ලංකාවට වහාම ආපසු පැමිණීමට හෝ සංචිතයෙන් ඉවත් කිරීමට හේතු විය හැක.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයෙන් සහ සහායක කාර්ය මණ්ඩලයෙන් බලාපොරොත්තු වන මාර්ගෝපදේශ හා උසස් ප්‍රමිතීන් පවත්වා ගැනීමේ වැදගත්කම මෙම දඬුවම් මගින් අවධාරනය කරයි.
