LPL වේගවත්ම ශතකය කුසල් ජනිත්ගේ නමට

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.

ඒ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම කඩුලු 4කින් පරාජය කරමින්.

මෙම තරගයේදී දඹුල්ල කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමද විශේෂත්වයක්.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය පල්ලේකැලේදී ඊයේ ආරම්භ වුණේ දඹුල්ල සික්සර්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතරයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 2ක් දැවී ලකුණු 191ක් රැස් කළා.

සිය මංගල එල් පී එල් ශතකය වාර්තා කළ කුසල් ජනිත් පන්දු 52කදී නොදැවී ලකුණු 102 රැස්කළේ හයේ පහර 5ක් සහ හතරේ පහර 10ක් සමගින්.

කුසල් ජනිත් පන්දු 50කදී ශතකය වාර්තා කළ අතර ඒ අනුව එය වාර්තා අතරට එක්වුණේ එල් පී එල් ඉතිහාසයේ වාර්තා වේගවත්ම ශතකය ලෙසයි.

ලකුණු 192ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ජැෆ්නා කිංස්ග් පිලේ මුල් කඩුලු 3 ලකුණු 36ක් තුළ දවා ගැනීමට දඹුල්ල සික්සර්ස් පන්දු යවන්නන් සමත්වුණා.

අනතුරුව පිටියේ එක් වූ නායක චරිත් අසලංක සහ අවිශ්ක ප්‍රනාන්දු සිව්වන කඩුල්ලට ලකුණු 134ක සබඳතාවක් ගොඩනගමින් ජැෆ්නා පිලේ ජය මාවත විවර කළා.

අවිශ්ක ප්‍රනාන්දු සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 34කදී ලකුණු 80ක් රැස් කළේ හයේ පහර 6ක් සහ හතරේ පහර 7ක් සමගින්.

අවිශ්කට අනගි සහායක් ලබාදුන් නායක චරිත් අසලංක පන්දු 36කදී ලකුණු 50ක් රැස් කළා.

අවසන් පන්දුවාරයේදි ජයග්‍රහණය සඳහා ජැෆ්නා පිලට ලකුණු 4ක් අවශ්‍ය වූ අතර පළමු පන්දු 2කට ලකුණු 3ක් රැස් කිරීමට අස්මතුල්ලා ඔමර්සායි සමත්වුණා.

තුන්වන, සිවුවන සහ පස්වැනි පන්දු නිලකුණු පන්දු ලෙස සටහන් වූ අතර ඒ අනුව අවසන් පන්දුවට ජයග්‍රහණය සඳහා ලකුණක් අවශයව තිබුණා.

එම පන්දුවට හයේ පහරක් එල්ල කළ ෆේබියන් ඇලන් ජැෆ්නා පිලේ ජය තහවුරු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *