ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියර පල්ලේකැලේ පැවති විචිත්‍රවත් සමාරම්භක උත්සවයකින් අනතුරුව ආරම්භ වුණා.
මෙවර තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස ඔස්ට්‍රේලියා හිටපු නායකයෙකු මෙන් ලෝක කුසලානය දිනූ ක්‍රිකට් නායකයෙකු වූ මයිකල් ක්ලාක්ද එක්වීම විශේෂත්වයක්.
නැටුම්, ගැයුම් සහ වැයුම් වලින් සමන්විත වූ විචිත්‍රවත් සමාරම්භක උලෙලේ සමාරම්භය සටහන් කළේ ශ්‍රී ලංකා කාන්තා නායිකා චමරි අතපත්තු විසින්.
මෙම අවස්ථාවට LPL – 5 හි සන්නාම තානාපතිවරයා ලෙසින් කටයුතු කරන හිටපු ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක්ද එක්වුණා.
ඔවුන් දෙපළට අමතරව තරගාවලිය නියෝජනය කරනු ලබන සියලුම කණ්ඩායම්වල නායකයින් ඇතුළු කණ්ඩායම් පහේ ක්‍රීඩකයින්ද මෙම විචිත්‍රවත් සමාරම්භයට සහභාගිවූ අතර මෙහිදී වත්මන් ලංකා ප්‍රිමියර් ලීග් ශූරයින් වන කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග විසින් තරගාවලියේ සන්නාම තානාපතිවරයා වෙත කුසලාන පිරිනැමීම සිදු කළා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ද සහභාගි වුණා.
මෙහි ඇති එක් විශේෂත්වයක් වන්නේ මෙවර තරගාවලියේ නිල ගීතයද එළි දැක්වීමට කටයුතු කිරීමයි. එය යොහානි, ඩීජේ.මාස්, අප්සි සහ රොමේයින් විල්ස් වැනි නව පරපුරේ කලාකරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබුවා.
මේ 21 වැනිදා දක්වා සති තුනකට ආසන්න කාලයක් පැවැත්වෙන තරගාවලියට, ලොව ප්‍රබලතම විදෙස් ක්‍රීඩකයන් සමග දේශීය ක්‍රීඩකයන් එක්වන අතර, බටහිර ඉන්දීය කොදෙව්හි ඊයේ නිමාවූ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයින් 32 ක් මෙවර තරගාවලියට ක්‍රීඩා කරති. ජයග්‍රාහී කණ්ඩායමට කුසලානය සමඟ මුදලින් ඩොලර් ලක්ෂයක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් කෝටි තුනකට ආසන්මුන මුදල් ත්‍යාගයක් හිමිවන අතර, අනුශූරයන්ට ඩොලර් 50,000 ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි එකහමාරක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වේ.


