ශම්මිලාගේ පාලන සමයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලෙන් ඉතිහාසගත පිම්මක්

West Indies Womens tour of Sri Lanka 2024 | 3rd ODI

ශ්‍රී ලංකා කාන්තා පිල බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැති එක්දින තරගාවලිය 3ට බින්දුවක් ලෙස ජය හිමිකර ගැනිමට සමත්වුණා.

ශ්‍රී ලංකා කාන්තා පිල මෙලෙස කොදෙව් කාන්තා පිලට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කළේ වසර 16කට පසුවයි.

අවසන් එක්දින තරගය ශ්‍රී ලංකා කාන්තා පිල ලකුණු 161කින් ජය ගැනීමට සමත්වූ අතර එය වාර්තා අතරට එක් වුණේ ශ්‍රී ලංකා කාන්තා පිල එක්දින පිටියේ ලද දැවැන්තම එක්දින ජයග්‍රහණය ලෙසයි.

මෙම තරගාවලිය 3ට බින්දුවක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කාන්තා පිල නවතම කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් මේ වන විට පස්වැනි ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකා කාන්තා පිල එක්දින ශ්‍රේණිගත කිරීම්වල මුල් කණ්ඩායම් පහ අතර පැමිණි පළමු අවස්ථාවද මෙයයි.

නායිකා චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා පිල මෑත කාලයේදී එක්දින පිටියේදි සුපිරි දස්කම් දැක්වමින් සිටින අතර ඔවුන් ඉකුත් වසරේදී නවසීලත්ය සමග පැවති එක්දින තරගාවලිය 2ට 1ක් ලෙස ජය ගනිමින් පළමු වරට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කළා.

දකුණු අප්‍රිකාව සමග පැවති එක්දින තරගාවලිය 1ට එකක් ලෙස සම කළ ශ්‍රී ලංකා කාන්තා පිල මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පෙරළිකාර කණ්ඩායම බවටද පත්ව සිටිනවා.

මෙම වසරේ මේ දක්වා එක්දින තරග 6කට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා පිල පරාජය වී අත්තේ එක් තරගයක් පමණක් වන අතර එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා.

පිරිමි ක්‍රිකට් කණ්ඩායම පසුබෑමකට පත්ව සිටින සමයක කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මේ පිබිදීම පැසසිය යුතුයි.

කාන්තා ක්‍රිකට් පිලට මෙන්ම පිරිමි ක්‍රිකට් පිලටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සියලුම පහසුකම් ලබාදී ඇති අතර ඒහෙත් මේ වන විට පිරිමි කණ්ඩායමේ පරාජයන් රැල්ල නිසා ක්‍රිකට් ආයතනයද විවේචනයට ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් දස්කම් දක්වන්නේද වත්මන් ක්‍රිකට් පරිපාලනය ලබාදෙන පහසුකම් යටතේ.

එවන් පසුබිමක පිරිමි කණ්ඩායම පසුබෑමට පත් වූ අවස්ථාවක ක්‍රිකට් පරිපාලනයට දොස් පැවරීම සාධාරණද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *