සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජය හිමිකර ගැනිමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.
ඒ දෙරට අතර අවසන් එක්දින තරගය ලකුණු 161කින් ජය ගනිමින්.
මෙම ජයග්‍රහණය වාර්තා අතරට එක්වුණේ ශ්‍රී ලංකා කාන්තා පිල එක්දින පිටියේදී ලද දැවන්තම ජයග්‍රහණය ලෙසයි.
හම්බන්තොට පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා පිල නියමිත පන්දුවාර 50දී කඩුලු 6ක් දැවී ලකුණු 275ක් රැස්කළා.
නායිකා චමරි අතපත්තු ලකුණු 91ක් රැස්කළ අතර නිලක්ෂි ද සිල්වා ලකුණු 63ක් සහ අනුෂ්කා සංජීවනී ලකුණු 55යි.
ලකුණු 276ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 34යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවි රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණූ 115ක් පමණයි.
කොදෙව් කාන්තා ඉනිම සුනු විසුළු කළ සචිනි නිසංසලා සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 28කට කඩුලු 5ක් දවාගැනීමට සමත්වුණා.
ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 161ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා පිල තරග 3කින් සමන්විත මෙම තරගාවලිය 3ට බින්දුවක් ලෙස ජය හිමිකර ගත්තා.
ශ්‍රී ලංකා කාන්තා පිල කොදෙව් කාන්තා පිලට එරෙහිව මෙලෙස එක්දින තරගාවලි ජයක් වාර්තා කළේ වසර 16කට පසුවයි.
