මෙවර ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය සහ දකුණු අප්‍රිකාව සමත්වුණා.
ඒ මෙවර සම සත්කාරකත්වය දැරූ අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වල ලෝක කුසලාන ගමනට තිත තබමින්.
දෙවැනි කාණ්ඩයෙන් අද තරග බිමට පිවිසියේ දකුණු අප්‍රිකාව සහ සම සත්කාරකත්වය දරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.
පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී 135ක් ලබා ගත්තා.
ලකුණු 136ක ජයග්‍රහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ පන්දුවාර 2ක් අවසන් වන විට තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
එම නිසා තරගය නැවත ආරම්භවීමට ප්‍රමාද වු අතර ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව දකුණු අප්‍රිකාවට පන්දුවාර 17ක් තුළ හිමි වු ඉලක්කය 123ක්.
දකුණු අප්‍රිකා පිලේ කඩුලු බිඳවැටීම නිසා තරගයේ ජය දෙපිලටම දෝලනය වෙමින් තිබුණත් අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට හයේ පහරක් එල්ල කළ මාර්කෝ ජැන්සන් දකුණු අප්‍රිකාවට ජය ගෙන ඒමට සමත් වුණා.
මේ අතර එංගලන්තය සහ අමෙරිකාව අතර පැවති අනෙක් තරගයේ පළමුව පන්දුවට පහරදුන් අමෙරිකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 115ක් පමණයි.
එහිදී මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වාර්තා වු තුන්වැනි කඩුලු ත්‍රිත්වය වාර්තා කරන්නට එංගලන්තයේ ක්‍රිස් ජෝර්ඩන් සමත්වුණා.
ලකුණු 116ක පහසු ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයින් පන්දුවාර 9යි පන්දු 4ක් අවසානයේ කිසිවෙකු නොදැවී සිය ජයග්‍රහී ඉලක්කය පසුකර ගියා.
ඒ අනුව මෙවර ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය සහ දකුණු අප්‍රිකාව සමත්වුණා.
