වසර 16කට පසු ශ්‍රී ලංකා කාන්තා පිල කොදෙව්වන් පරදවයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදි ජය ගැනිමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.

ඒ හම්බන්තොට පැවති දෙවන එක්දින තරගය කඩුලු 5කින් ජය ගනිමින්.

හම්බන්තොට පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදිමට තීරණය කළා.

ඒ අනුව පිටියට කොදෙව් කාන්තා පිලට ශ්‍රී ලංකා කාන්තා පිලේ සුපිරි පන්දුයැවීම හමුවේ පන්දුවාර 31ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 92ක් පමණයි.

සිය එක්දින දිවියේ හොඳම පන්දුයැවීම වාර්තා කළ කවීෂා දිල්හාරි ලකුණු 20ට කඩුලු 4ක් දවා ගත්තා.

අචිනි කුලසූරිය සහ නායිකා චමරි අතපත්තු කඩුලු දෙක බැගින් දවා ගනිමින් කොදෙව් කාන්තා ඉනිම සුනු විසුනු කළා.

ඒ අනුව ලකුණු 93ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 21යි පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් දෙවන එක්දින තරගය ජය ගත්තා.

විශ්මි ගුණරත්න ලකුණු 50ක් රැස් කළ අතර කවීෂා දිල්හාරි ලකුණු 28ක් රැස් කළා.

ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ තවත් එක් තරගයක් තිබියදී 2ට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *