සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ එකට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි.
ශ්‍රී ලංකා – කොදෙව්, කාන්තා පළමු එක්දින ක්‍රිකට් තරගය හම්බන්තොටදී පැවැත්වුණා.
තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කාන්තා පිල දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි කොදෙව් කාන්තා පිල පන්දුවාර 47යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 195ක් රැස් කිරීමට සමත්වුණා.
නායිකා හේලි මැතිව්ස් ලකුණු 38ක් රැස් කළ අතර ස්ටැෆනි ටේලර් ලකුණු 33ක් රැස් කළා.
පන්දුයැවීමේදී සුගන්ධිකා කුමාර සහ කවීෂා දිල්හාරි කඩුලු 3 බැගින් දවා ගත්තා.
ලකුණු 196ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා පිලේ ආරම්භක පිතිකාරිනියන් යුගල පළමු කඩුල්ලට ලකුණු 88ක සබඳතාවක් ගොඩනගමින් සාර්ථක ආරම්භයක් ලබා ගත්තා.
විශ්මි ගුණරත්න ලකුණු 40ක් රැස් කළ අතර නායිකා චමරි අතපත්තු ලකුණු 38ක් රැස් කිරීමට සමත්වුණා.
ඔවුන් දෙපළගේ දැවී යාමෙන් පසු කණ්ඩායමේ වගකීම සියතට ගත් හර්ෂිතා මාධවී සහ හසිනි පෙරේරා ශ්‍රී ලංකා කාන්තා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියා.
හර්ෂිතා මාධවී නොදැවී ලකුණු 44ක් රැස් කළ අතර හසිනි පෙරේරා ලකුණු 43ක් රැස් කළා.
මෙම තරගය කඩුලු 6කින් ජයගත් ශ්‍රී ලංකා කාන්තා පිල තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ 1ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.
