කාන්තා 20යි 20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා.
ඒ අවසන් පූර්ව තරග වටයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජය කරමින්.
කාන්කා 20යි 20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග බිමට පිවිසියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජය්‍යයි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජය්‍ය නායිකා පළමුව පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 149ක් ලබා ගත්තා.
සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ විශ්මි ගුණරත්න ලකුණු 45ක් රැස්කළා.
හර්ෂිත සමරවික්‍රම ලකුණු 24යි.
ලකුණු 150ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 134කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවුණා.
පන්දු යැවීමේදී නායිකා චමරි අතපත්තු කඩුලු 2ක් දවා ගත්තා.
මීට අමතරව ඉනෝෂි ප්‍රියදර්ශනී, සුගන්දිකා කුමාරි සහ උදේශිකා ප්‍රබෝධනී අතරේද එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
මෙම තරගය ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් මහ තරගය සඳහා අපරාජිතව සුදුසුකම් ලබා ගත්තා.
ඒ අනුව අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ ස්කොට්ලන්තයයි.
එම තරගය හෙට රාත්‍රී 9ට ආරම්භවීමට නියමිතයි.
