එක්දින තරගාවලියේ ජය බංග්ලාදේශයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තීරණාත්මක තුන්වැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද සමත්වුණා.

ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලිය 2ට එකක් ලෙස ජය හිමි වුණේ බංග්ලාදේශ කණ්ඩායමටයි.

චොට්ටෝග්‍රෑම්හි පැවති තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ මුලු කඩුලු 4 ලකුණු 74ක් තුළ දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත්වුණා.

කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිමට යම් ජීවයක් ගෙන දෙන්නට චරිත් අසලංකට සහ ජනිත් ලියනගේ සමත්වුණේ 5වැනි කඩුල්ලට ලකුණු 43ක සබදතාවක් ගොඩනගමින්.

චරිත් අසලංක ලකුණු 37කට දැවී ගිය අතර සටන්කාමී ඉනිමක් ක්‍රීඩාකළ ජනිත් ලියනගේ සිය මංගල එක්දින ශතකය රැස්කරමින් නොදැවී ලකුණු 101ක් ලබා ගත්තා.

මේ අතර ප්‍රමොද් මදුෂාන් ලබාදුන් උඩ පන්දුවක් රැකගැනීමට යාමේදී අනමුල් බිජෝයි සහ ජේකර් අලි අනතුරකට මුහුණ දුන්නා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 235ක් ලබා ගත්තා.

ලකුණු 236ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 40යි පන්දු 2ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියා.

ලහිරු කුමාර කඩුලු 4ක් සහ වනිඳු හසරංග කඩුලු දෙකක් දවා ගත්තද එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැහැ.

ටන්සිඩ් හසන් ලකුණු 84ක්, රිෂාඩ් හොසේන් නොදැවී ලකුනු 48ක් සහ මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 37ක් රැස් කරමින් බංග්ලාදේශය ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ඒ අනුව මෙම තීරණාත්මක තරගය කඩුලු 4කින් ජය ගත් බංග්ලාදේශය තරග 3කින් සමන්විත මෙම තරගාවලිය 2ට එකක් ලෙස ජය හිමිකර ගත්තා.

බංග්ලාදේශය පිල ජයග්‍රහණය සමරන අවස්ථාවේදී මුෂ්ෆිකර් රහීම් හෙල්මටයක් රැගෙන පැමිණ , මින් පෙර මතභේදයට තුඩුදුන් ටයිම් අවුට් සිද්ධිය යළි සිහිපත් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *