මට ඕන වුණේ තරගය දිනවන්න ‍- සදීර 

LUCKNOW, INDIA - OCTOBER 21: Sadeera Samarawickrama of Sri Lanka celebrates their half century during the ICC Men's Cricket World Cup India 2023 match between Netherlands and Sri Lanka at BRSABVE Cricket Stadium on October 21, 2023 in Lucknow, India. (Photo by Matt Roberts-ICC/ICC via Getty Images)

නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී ශතකයක් ලබාගැනීමට වඩා තමා උනන්දු වූයේ ශ්‍රී ලංකාව ජයග්‍රණය කරා ගෙන යෑම සඳහා බව මැද පෙළ පිතිකරු සදීර සමරවික්‍රම පැවසීය. නොදැවී ලකුණු 91 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්වූ සදීර, තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ බව කියා සිටියා.

“ම‍ගේ ලකුණු සංඛ්‍යාව ගැන මම එතරම් හිතන්‍නෙ නෑ. මෙ‍ාකද අපිට ජයග්‍රහණයක අවශ්‍යතාව තදින්ම දැනිලයි තිබුණේ. ඒ නිසා තරගය ජයග්‍රහණය කරා ගෙන යෑම තමයි මගේ ප්‍රධානම අරමුණ වුණේ. කණ්ඩායමක් විධියට මේ තරගයෙදි අපි හුඟක් හොඳට ක්‍රීඩා කළා. ලකුණු 91 ක් ලබාගැනීමට හැකි වීම ගැන මට සතුටුයි. ඒත් ජයග්‍රාහී කණ්ඩා‍යමේ සාමාජිකයෙක් වෙන්න ලැබුණ එක ගැන ඊටත් වඩා සතුටුයි.” යැයිද සදීර පැවසුවා.

මුළු ලකුණු සංඛ්‍යාව 52 ක් වන විට කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගිය අතර ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වූ සදීර, තෙවැනි කඩුල්ල වෙනුවෙන් පැතුම් නිස්සංක (54) සමග එක්ව ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. ඉන් නොනැවතුන ඔහු, චරිත් අසලංක (44) සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 77 ක්ද, ධනංජය ද සිල්වා (30) සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 76 ක්ද එක්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියා.

“මැද ඕවර ටික යද්දි මට තේරුණා. මේ තණතිල්ලෙ පන්දුවට පහර දෙන එක ලේසි නෑ කියලා. මොකද අපි පන්දු යවනකොට තිබුණට වඩා අපි පන්දුවට පහර දෙන‍කොට තණතිල්ලෙ දඟ කැවීම ටිකක් වැඩි වෙලා තිබුණා. ඒ නිසා මම ක්‍රීඩාංගණයට ආපු හැම පිතිකරුවෙකුටම කිව්වේ අපි පුලුවන් තරම් තරගය ඉස්සරහට ඇදගෙන යමු කියලා. ඉක්මනින් ඉවර කරන්න ගියා නම් ලඟ ලඟ කඩුලු වැටිලා අපි මේ තරගයත් පරදින්න ඉඩ තිබුණා.”  

“එයාලගේ (නෙදර්ලන්තයේ) පන්දු යවන්නොත් ඉතාමත් හොඳින් පන්දුව නිවැරදි ස්ථානවල පතිත කරමින් පන්දු යැවුවා. එයාලත් හොඳට අත්දැකීම් තියෙන අය. ඒ නිසා අපි සැලසුම් කළේ තරගය අවසන් ඕවර කිහිපය දක්වාම අරගෙන යන්න. මාත් එක්ක පිතිහරඹයෙ යෙදුන අනිත් පිතිකරුවොත් ඒ සැලසුමට අනුව ක්‍රීඩා කළා. ඒ නිසා තමයි අපිට මේ ලකුණු සංඛ්‍යාව හඹායන්න පුළුවන් වු‍ණේ.” යැයිද සදීර කියා සිටියා.

ඕවර 21.2 ක් අවසානයේ ලකුණු 91 කට කඩුලු 6 ක් බිඳවැටී අසීරු තත්වකට පත්ව සිටි නෙදර්ලන්ත කණ්ඩායම, එම තත්වයෙන් මුදවාගත් සයිබ්‍රෑන්ඩ් එන්ගල්බ්‍රෙච්ට් (70) සහ ලෝගන් වැන් බීක් (59) හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 130 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැගූහ. එම සම්බන්ධතාව හේතුවෙන් ලකුණු 250 සිමාව පසුකර යෑමටද නෙදර්ලන්තයට හැකි වූ අතර තරගයට සාර්ථක ප්‍ර‍වේශයක් ගෙන සිටි ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එම සම්බන්ධතාව බිඳ දැමීම සඳහා මහත් වෙහෙසක් දැරීමට සිදුවුණා.

“ඔවුන්ට අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරන්න අපි ලොකු පීඩනයක් දුන්නා. ඒ නිසා තමයි අපිට කඩුලු 6 ක් ඉක්මනින් දවාගන්න පුළුවන් වුණේ. ඒත් ඔවුන් දෙදෙනා (සයිබ්‍රෑන්ඩ් සහ වැන් බීක්) අපේ පන්දු යවන්නන්ගේ උපක්‍රමවලට සාර්ථක අයුරින් මුහුණදීලා ටිකෙන් ටික හොඳ සම්බන්ධතාවක් ගොඩනැගුවා. පන්දු රැකීමෙදි අපේ අතිනුත් පොඩි පොඩි මඟහැරීම් වුණා. ඒවයින් එයාලා උපරිම ප්‍රයෝජන ගත්තා. ඒ නිසා තමයි එයාලට ලොකු ලකුණු සංඛ්‍යාවකට යන්න පුළුවන් වු‍ණේ.” යැයිද සදීර පැවසුවා.

මේ දක්වා සහභාගි වූ තරග 4 දී එක් ජයග්‍රහණයක් ලබා සෙසු තරග 3 පරාජයට පත්ව සිටින ශ්‍රී ලංකාව, මෙම මස 26 වැනිදා බැංගලෝර්හිදී එංගලන්තයට එරෙහිව තරග වැදිමට නියමිතය. ඉන් අනතුරුව පූනේ, මුම්බායි සහ දිල්ලි යන නගරවලදී මෙන්ම යළිත් වරක් බැංගලෝර්හිදීද ශ්‍රී ලංකා කණ්ඩායම තවත් තරග 4 කට සහභාගි වනු ඇත. එහිදී ඇෆ්ඝනිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය සහ ‍නවසීලන්තය පිළිවෙලින් ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත්වනු ඇති.

“තරග 3 ක් පරාද වුණාට පස්සෙ අපිට ඕන වුණේ කො‍හොම හරි තරගයක් දිනලා නැවතත් ජයග්‍රාහී මානසිකත්වට එන්නයි. දැන් අපි ඒ මානසිකත්වයට ඇවිල්ලා ඉන්නවා. ඉස්සරහට අපිට ක්‍රීඩා කරන්න තියෙන්න ඉතාමත් හොඳ කණ්ඩායම් එක්ක. ඒ නිසා අපිට වැරදි කරන්න කිසිම ඉඩක් නෑ. තරගාවලියෙ රැදීලා ඉන්න නම් හැමෝම අපේ උපරිමය දීලා ක්‍රීඩා කරන්න ඕන. කණ්ඩායමක් විධියට ඉදිරි තරගවලට මුහුණ දෙන්න ඕන විධිය සැලසුම් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.” යැයිද සදීර සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *