ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2024 ක්‍රීඩක වෙන්දේසිය අද ඩුබායිහීදි පැවැත්වුණා.
එහිදී ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසය උඩුයටිකුරු කරමින් වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට ඔස්ට්‍රේලියා වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් පත්වුණා.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඉන්දිය රුපියල් විසිහතරකෝටි හැත්තෑපන්ලක්ෂයකට මිචෙල් ස්ටාක් මිලදී ගත්තා
එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 97කට ආසන්නයි.
මෙවර වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 8 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් අද දිනයේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් පමණයි.
එහිදී ඉන්දියන් රුපියල් කෝටි එකහමාරක මූලික වටිනාකමකට වෙන්දේසි කෙරුණු වනිඳු හසරංගව මිලදී ගැනීමට ඉදිරිපත්වූයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පමණයි.
හයිද්‍රාබාද් කණ්ඩායම වනිඳුව ඉන්දිය රුපියල් කෝටි එකහමාරක මුදලකට මිලදී ගත් අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් පන්කෝටි අසූලක්ෂයකට ආසන්නයි.
මේ අතර ඉන්දිය රුපියල් ලක්ෂ 50ක මූලික ලංසුවකට වෙන්දේසියට ඉදිරිපත් කළ වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුසංක මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඉදිරිපත් වුණා.
එහිදී මුම්බායි කණ්ඩායම විසින් ඉන්දිය රුපියල් හාරකෝටි හැටලක්ෂයකට මිලදී ගත් අතර ඔහුට හිමිවූ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් කෝටි 18කට ආසන්නයි.
ඩිල්ෂාන් මදුසංකව මිලදී ගැනීමෙන් පසු මුම්බායි ඉන්දියන්ස් ගෝලීය කාර්යසාධන ප්‍රධානි මහේල ජයවර්ධන ඩිල්ෂාන්ගේ නම සහිත කුඩා පුවරුවක් අතැතිව මෙලෙස ඡායාරූපයකට පෙනී සිටියා.
මෙවර අයි පී එල් වෙන්දේසියේදී නුවන් තුෂාර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.
ඒ ඉන්දියන් රුපියල් හාරකෝටි අසූලක්ෂයකටයි.
නුවන් තුෂාරට හිමිවූ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් කෝටි 18කට ආසන්නයි.
