විචිත්‍රවත් ලෙස අවසන් වූ 12වැනි ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය

12වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ සමාප්ති උළෙල අති උත්කර්ෂවත් ලෙස ඊයේ නිමාවට පත්වුණා.

ඒ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණ පරිශ්‍රයේදීයි.

වසරක කාලයක් ක්‍රීඩා තරග ඉසව් 38ක් යටතේ ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන් තරඟවදින 12වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ සමාප්ති උළෙල කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාවුණා.

ජාතික සහ ජාත්‍යන්තරය නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු 3000කට ආසන්න ක්‍රීඩක සංඛ්‍යාවක් සහභාගී වූ මෙම තරගාවලියේදී නව ආරක්ෂක සේවා ක්‍රීඩා වාර්තා 4ක් පිහිටවනු ලැබුවා.

මෙහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රන් පදක්කම් 147ක් රිදී පදක්කම් 144ක් සහ ලෝකඩ පදක්කම් 112ක් ද ,ශ්‍රී ලංකා ගුවන් හමුදාව රන්පදක්කම් 77ක් රිදී පදක්කම් 71ක් සහ ලෝකඩ පදක්කම් 100ක්ද ශ්‍රී ලංකා නාවික හමුදාවට රන්පදක්කම් 69ක්,රිදී පදක්කම් 86 සහ ලෝකඩ පදක්කම් 69ක් දිනා ගැනීමට සමත්වී තිබුණා.

සමාප්ති උළෙල විචිත්‍රවත් සහ අභිමානවත්ව පැවැත්වුණු අතර මෙහිදී රාත්‍රියේදී නිදහස් ආර පැරිෂුට් භටයින්ගේ සංදර්ශනයක් ඉදිරිපත් කෙරුණු අතර එය ඉතිහාසයට එක්වුණේ ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියක සමාප්ති උළෙලක එවන් සංදර්ශනයක් ඉදිරිපත් කළ ප්‍රථම අවස්ථාව ලෙසයි

ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වත්මන් සභාපති ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ පැවති උත්සවය සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වූ අතර ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ඇතුළු ආරක්ෂක ප්‍රධානීන්ද එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *