හොංකොං හි පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක් දිනා දීමට මිහින්සා අබේරත්න අද සමත්වුණා.
ඒ බාලිකා උස පැනීම ඉසව්වෙන්.
හොංකොංහි පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ ඉසව් කිහිපයක අවසන් තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ එක්වුණා.
එහිදී බාලිකා උස පැනීමේ ඉසව්වට එක් වූ මිහින්සා අබේරත්න මීටර 1යි දශම 7යි 2ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්තා.
මෙහි රන් පදක්කම මීටර එකයි දශම 9යි 3ක දක්ෂතාවක් දැක් වූ ඉන්දීය ක්‍රිඩිකාවක් විසින් දිනා ගනු ලැබුවා.
ශ්‍රී ලංකාව මෙවර වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී දිනූ දෙවන පදක්කමද මෙයයි.
මේ අතර මෙවර වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර 400 බාලක ධාවන ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සදෙව් රාජකරුණා සහ ඔමෙල් ශෂින්ත සහභාගි වුණා.
මෙම ඉසව්වෙන් ශ්‍රී ලංකාව පදක්කම් බලාපෙරොත්තු දල්වා සිටියත් සදෙව්ට සහ ඔමෙල් පදක්කම් දිනා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.
ඒ අනුව සදෙව් රාජකරුණාට සහ ඔමෙල් ශෂින්තට පිළිවෙළින් අවසන් තරගයේදී හිමි වුණේ සිව්වැනි සහ 5 වැනි ස්ථානයි.
මෙම ඉසව්වේ රන් රිදී සහ ලෝකඩ පදක්කම් ත්‍රිත්වයම අප්‍රිකානු සම්භවයක් ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ කටාර් ක්‍රීඩකයින් විසින් දිනා ගත්තා.



